මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමේ සිද්ධියට අදාළ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ෆසීර් මොහොමඩ් / ජිමුත් ඉඳුසර රත්නායක

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දී විභාග වෙමින් පවතින නඩුකරයේ හතරවන සාක්ෂිකරුට බලපෑම් කළා යැයි කියන සිද්ධියට අදාළ ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුධ හමුදා බුද්ධි අංශ කර්නල්වරයෙකු වූ අර්ජුන ශම්මි කුමාර්රත්න හා හමුදා බුද්ධි නිලධාරියෙක් වූ විජේදාස් නොහොත් මොහොමඩ් යන අයව තවදුරටත් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණි කරුපෛයා මහත්මිය එම නියෝගය නිකුත් කළේ, අද දිනයේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වූ එම නඩුකරය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අවස්ථාවේ දී යි.

එම නඩු වාරයේ දී  වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් හා එහි ස්ථානාධිපතිවරයා පැමිණ කරුණු දැක්වීමක් සිදුකරමින් පවසා සිටියේ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දී විභාග වෙමින් පවතින නඩුකරයේ හතරවන සාක්ෂිකරු එනම් මෙම නඩුවේ පැමිණිලිකරුගේ සාක්ෂි ලබා දීම ප්‍රමාද කිරීමේ අරමුණින් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතිකයක් ලබා දී ඇති බවයි.

මෙම නඩුවේ පැමිණිලිකරු හා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දී විභාග වෙමින් පවතින නඩුකරයේ දී හතරවන සාක්ෂිකරු වන මුරලි නැමැත්තා තමන් පදිංචි ප්‍රදේශයේ පදිංචි වී සිටියදීත්,  මාස 05 ක් මුළුල්ලේ එම ප්‍රදේශයේ පදිංචි වී නැති බවට ග්‍රාම නිලධාරී සහතිකයක් ලබා දී තිබෙන බවත්, එම සහතිකයේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඉදිරිපත් කිරීමක් සිදු කර ඇති බවත්, පොලිසිය සඳහන් කළා.

එම ලිපිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවල දී යුධ හමුදාවේ බලපෑම් මත අදාළ ග්‍රාම නිලධාරීවරයා එම ලිපිය ලබා දී ඇති බවට සාක්ෂි ලබාදීමක් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින බවත්, පොලිසිය වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටියා.

තව ද ඔවුන් ඉල්ලා සිටියේ,  දුරකථන විශ්ලේෂණයන් ද විශාල ප්‍රමාණයක් කිරීමට අවශ්‍ය බවත්, මෙම විමර්ශන අවසන් ව නොතිබීම හේතුවෙන් විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත  කරන ලෙසත් ය.

අද දිනයේ දී මෙම නඩුව කැඳවීමට ප්‍රථමයෙන් නඩුවේ දෙවන සැකකරු වූ විජේදාස නොහොත් මොහොමඩ් යන සැකකරු සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වූ අතර,  එම පෙරට්ටුවේ දී මෙම නඩුවේ පැමිණිලිකරු වූ මුරලි විසින් එම සැකකරු හඳුනාගනු ලැබීමෙන් අනතුරුවයි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී මෙම නඩුව කැඳවනු ලැබුවේ.

කෙසේ නමුත් අද දිනයේ දී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයින් ඇප මත මුදාහැරීමට කටයුතු කරන ලෙසයි.

එහි දී නීතිඥවරුන් කරුණු දක්වමින් පෙන්වා දෙනු ලැබුවේ, වසර ගණනාවක් මුළුල්ලේ ත්‍රස්තවාදය සමඟ සම්බන්ධ වූ පුද්ගලයෙක් මෙන්ම ඔහුගේ ම කට උත්තරවලට අනුව  මිනීමැරුම් කිහිපයක් සිදු කළ පුද්ගලයෙක් ව සිට පසුකාලීන ව පුනරුත්ථාපනයෙන් අනතුරුව හමුදාව සමඟ සම්බන්ධ වී ක්‍රියා කරමින් ලබා දුන් ප්‍රකාශයක් පදනම් කර ගනිමින්,  ත්‍රස්තවාදයට විරුද්ධව හා දිගින් දිගටම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ නැගෙනහිර පළාතේ බුද්ධි අනු කාණ්ඩයට අණ දුන් නිලධාරියා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගනු ලබන උත්සාහය හෙළා දකින බවයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දී විභාග වෙමින් පවතින නඩුකරයේ දී මෙම නඩුවේ පළමු සැකකරු විත්තිකරුවෙකු ලෙස නම් කර තිබෙන බවත්,  එම නඩුකරයේ දී විත්තිකරුට ලබා දී තිබෙන ඇප අවලංගු කර නොමැති බවත්, විත්තියේ නීතීඥවරුන් පෙන්වා දෙනු ලැබුවා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දී විභාග වෙමින් පවතින නඩුවේ පසුගිය නඩුවාරයේ දී පැමිණිල්ල විසින් පළමුවන සැකකරුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉල්ලීමක් සිදුකළ ද එම ඉල්ලිමට එම අවස්ථාවේ දී ත්‍රිපුද්ගල මහාධිකරණය ඉඩ නොදුන් බව ද පෙන්වා දුන් නීතීඥවරුන් යම් කිසි අවස්ථාව දී ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ දි පළමු සැකකරු ලෙස නම් කර ඇති විත්තිකරුට ඇප ලබාදීමක් දීමක් සිදු කළහොත් ඔහු ඇප මත මුදා හැරීමට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට පමණක් නියෝගයක් නිකුත් කළ ඇති බවත් නීතීඥවරුන් පෙන්වාදෙනු ලැබුවා.

ඊට අමතරව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගොනුකර තිබෙන B වාර්තාවට අනුව පවත්වාගෙන යන නඩුවේ දී පැමිණිලිකරු වශයෙන් සඳහන් වන මුරලි නම් පුද්ගලයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දී විටින් විට පරස්පර විරෝධි සාක්ෂි ලබාදීමක් සිදු කර ඇති බවත්, මීට පෙර පැමිණිල්ල විසින් පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරු හැටියට ඔහුව නම් කර තිබූ බවත් විත්තියේ නීතීඥවරුන් පෙන්වා දෙනු ලැබුවා.

එම අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් නගමින් මහේස්ත්‍රාත් ජීවරාණි කරුපෛයා මහත්මිය විමසුවේ පැමිණිලිකරු එක් එක් අවස්ථාවක එක් එක් ස්ථාවරයන් ගෙන ඇතැයි ඉස්මතු වූ කරුණ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවල අවධානය යොමු වුනේ ද යනුවෙනුයි. එම අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් එවන් නිරීක්ෂණයක් නොමැති බවට සඳහන් කිරීමක් ද සිදු කරනු ලැබුවා.

මෙහි දී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දිගින් දිගට ම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දීමක් සිදු කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු සඳහා තවත් දවස් 14 ක් ලබා දෙන බවත්, එම දින 14 ක කාලය තුළ විමර්ශන කඩිනමින් අවසන් කර අවසන් වාර්තාව අධිකරණයට ගොනු කිරීමට කටයුතු කරන ලෙසත් විමර්ශන නිලධාරීන් වෙත නියෝග කර සිටියා.

ඒ අනුව එම නඩුව ලබන ජූලි 23 වන දින දක්වා කල් තබනු ලැබුවා

Author

Related Posts