මාස නවයක් ත්‍රස්ත පනතෙන් හිරේ තබාගෙන සිටි තරුණයා කිසිම වරදක් කර නැතැයි පොලීසිය කියයි! ඒත් ඇප නොලැබෙයි

ෆසීර් මොහොමඩ්

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිමාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් සම්බන්ධයෙන් ත්‍රස්ත පනතට අදාලව කිසිම වරදක් අනාවරණය වී නැතැයි පොලීසිය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මාස නවයක් හිරේ තබාගෙන සිටි එම තරුණයාට ඇප ලබාදෙන්න කියලා දෙහිවල පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. එහෙත්, මේ වෙද්දී සිදුවීම පිළිබද උදෘත සකස් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් පතා යවා තිබෙන පසුබිමක ඇප ලබා දෙන්න හැකියාවක් නැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මිය කීවා.

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීම පනත යටතේ චෝදනා කළ පසු මහේස්ත්‍රාත්වරුන්ට ඇප ලබා දෙන්නට බලතල නැති නිසා, මාස නවයක් තිස්සේ සිරගතව සිටි එම තරුණයා නැවතත් රිමාන්ඩ් බන්නාගාරගත කෙරුණා.

මේ තරුණයාව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ මාස නවයක් රඳවා තබාගත්තේ ඊශ්‍රායලය කොඩිය පාගන අන්දමේ වීඩියෝ කොටසක් ඉන්ස්ටග්‍රෑම් හරහා පළ කළ නිසයි.

මෙම සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙරදී අධිකරණයට දන්වලා, දැන් මාස 9 කට වඩා ගත වුණාට පස්සේ සැකකරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසුවා. මේ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න කියලා මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියට නියෝග කළා. තමා කටයුතු කළ යුත්තේ නීතිපති උපදෙස් මත බව ඇය ප්‍රකාශ කළා.
21 වැනි මෙම තරුණයාව පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තා.

නිරපරාදේ මාස නවයක් තිස්සේ හිරගත කරගෙන හිටපු මෙම තරුණයා වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, රෂාඩ් අහමඩ්,ඉල්හාම් හසනාලි, මොහොමඩ් ෆර්සාන් යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියා.

තරුණයාව මාස ජූලි මස 15 වන දින භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

Author

Related Posts