2024 දෙසැම්බර් 31 විශ්‍රාම යන කෙනෙකුගේ වැටුපත් 2025 ජනවාරි 01 දින විශ්‍රාම යන කෙනෙකුගේ වැටුපත් අතර විශාල පරතරයක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ සඳහා අගමැති හරිනි අමරසූරිය පිළිතුරු දුන් අතර පසුව එය සංවාදයක් බවට පත් වුණා.
එය රුපියල් 20,000 සිට 80,000 පරතරයක් දක්වා ගමන් කරන බව ඇය පැවසුවා. නිදසුනක් ලෙස ගුරු සේවයේ සිටි ගුරුවරුන් දෙදෙනෙක් 2024 දෙසැම්බර් 31 එක් අයෙක්ද, 2025 ජනවාරි 01 වෙනිදා තවත් අයෙක්ද විශ්‍රාම ගියහොත් එම දෙදෙනාගේ වැටුප් අතර පරතරයක් පවතින බව රෝහිණී කවිරත්න සඳහන් කළා.
මේ ගැටලුව සඳහා පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවේ NPP ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ පළවෙනි අය වැය තුළින්ම එම විෂමතාවය ඉවත් කළ බවයි. එම නිසා පැලැස්තර විසඳුම් කිසිසේත් නොදෙන බවත් එය විෂමතාවයක් නොවන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියා. මෙහි සිදුව ඇත්තේ වැටුප් වැඩි වන හැම අවස්ථාවකම ඒ වැටුපට සරිලන ආකාරයට විශ්‍රාම වැටුප සකස් කිරීමට නොහැකි බවත් ලෝකේ කිසිම රටක එලෙස සිදු කරන්නේ නැති බවත් හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
අගමැතිනියගේ ප්‍රකාශය අනුව ප්‍රශ්නය මතු වී ඇත්තේ එම අය වැයෙන් ගත් තීරණය නිසා බවත් ඒ අනුව එම විෂමතාවය හදා ඇත්තේ ආණ්ඩුව බව නැවත ප්‍රශ්නය මතු කරමින් රෝහිණි කවිරත්න ප්‍රකාශ කළා. ඇය තවදුරත් සඳහන් කළේ ජනාධිපතිවරයා එක් දෙයක් කියද්දී අගමැති හා කම්කරු නියෝජ්‍ය ඇමති තවත් දෙයක් ප්‍රකාශ කරන බැවින් මෙහි යම් කිසි පරස්පරයක් ඇති බවයි.
පසුව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ මෙහි කිසිදු පරස්පරයක් හෝ ප්‍රශ්නයක් නොමැති බවයි.
