ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ විමර්ශන ඒකකය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා.
ආනයනය කරන ලද බහාලුම් 323 අයත් වන්නේ එක්තරා පළාතක ආණ්ඩුකරයෙකුට යැයි හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහුව මෙලෙස කැඳවනු ඇති.
ඒ අනුව, මෙම ප්‍රකාශය ඇතුළුව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා හෙට (09) පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඒකකය හමුවට ගොස් අමාත්‍යවරයා තම ප්‍රකාශය ලබාදීමට නියමිතයි.
විමල් වීරවංශ මහතා ජනවාරි 29 වැනිදා මාධ්‍ය හමුවකදී කළ අදහස් දැක්වීමක් පිළිබඳ විමසීමට මෙසේ කැඳවා තිබුණු අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා තමාට සමාජ මාධ්‍යවලින් එල්ල වූ ප්‍රචාර සම්බන්ධයෙන් ජනවාරි 30 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා.
මීට අමතරව පාර්ශ්ව කිහිපයක්ම අදාල සිදුවීම පිළිබඳ පැමිණිලි කර තිබුණා.
විමර්ශනය සඳහා හිටපු අමාත්‍ය වීරවංශව මහතාව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 4 වෙත කැදවා තිබෙන්නේ ඒ අනුවයි.
‘දූෂණය නාස්තිය ගැන කතා කරමින් ආපු මේ කයි පාලනය පහුගිය දවස්වල කන්ටේනර් තුන්සිය ගාණක් ඒ කියන්නේ රතු ලැයිස්තුවේ තියෙන කන්ටේනර් පවා කිසිම පරීක්ෂාවක් නැතිව නිදහස් කරලා තියෙනවා. ආරංචි විදියට එක්තරා පළාතක ආණ්ඩුකාරවයෙකුට අයිති කන්ටේනර්. මේ තුන්සිය විසි ගණන ඇතුළේ මොනවාද තිබුණේ. මොනවාද රට ඇතුළට ආවේ. මත්ද්‍රව්‍යද? රත්තරන්ද? මේක බරපතල ප්‍රශ්නයක්. මහබැංකු වංචාව වගේ ප්‍රශ්නයක්. කන්ටේනර් ඇතුලේ තිබුණේ මොනවාද කියලා අද දෙයියෝවත් දන්නේ නැහැ” යනුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහහා මාධ්‍යවේදීන් කළ විමසීමකදී අදහස් දක්වා තිබුණා.
