මනම්පිටිය – නිමල් ජයරත්න පොළොන්නරුව, වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයට ඊයේ (07) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයක් හේතුවෙන් විද්‍යාලයේ දේපළ වලට දැඩි ලෙස හානි සිදුව ඇති බව විද්‍යාලයේ ගුරුවරු සඳහන් කරනවා.
මේ බව වාර්තා කරමින් මව්බිම මනම්පිටිය වාර්තාකරු නිමල් ජයරත්න සඳහන් කළේ මෙම පහර දීමෙන් විද්‍යාලයේ ගොඩනැගිලිවල ජනේලයක්, ගොඩනැගිලිවල බිත්ති කිහිපයක් සහ ළමා උද්‍යානයට දැඩි ලෙස හානි සිදු වී ඇති බව විදුහල්පති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර හිමියන් සඳහන් කළ බවයි.
තමන් මේ පිළිබඳ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණ පරීක්ෂණ සිදු කළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.
දරුවන්ට අන්නාසි ඇතුළු පලතුරුවලින් ෆෘට් සැලඩ් එකක් සකසන ආකාරය පිළිබඳ ව පාඩමක් පසුගිය සිකුරාදා පැවැත්වූ බවත්, එහි සුවඳ දැනී මෙම අලියා විද්‍යාලයට පැමිණ දේපළවලට අලාභ හානි සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බව මෙත්තාලංකාර හිමියන් අවසාන වශයෙන් සඳහන් කර සිටියා.
