රාජ්‍ය බලධාරීන් හා වගකිවයුතු නිලධාරීන් සිය රාජකාරි ඉටුකිරීමේ දී විනිවිදභාවය හා වගවීම සම්බන්ධයෙන් අතිශයින් සැලකිලිමත් විය යුතු බවත් රාජ්‍ය අධිකාරිය තම උසස් නිලධාරීන්ගේ කුමන කටයුත්තක් සඳහා හෝ මහජන මුදල් වැයකරන්නේ නම් ඒවා පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් කියාපාන්නා වූ නඩු තීන්දු තුනක් අභියාචනාධිකරණය විසින් පසුගිය දා නිකුත් කෙරුණා.
රාජ්‍ය නිලධාරීන් සදහා මහජන මුදල් වැය කරන විට එම මුදල් වැය වූ ආකාරය පෞද්ගලික තොරතුරු ලෙස සඟවාගෙන සිටීමට කිසිඳු රාජ්‍ය ආයතනයකට අයිතියක් නොමැති බවත්, අර්ධ අධිකරණ බලතල සහිත අධිකාරියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව එම තොරතුරු නිකුත් කරන ලෙස නියෝග කොට තිබියදීත් එම නියෝග පැහැර හැර එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම යහපත් නොවන බවත් පෙන්වා දෙමින් එකී තීන්දු නිකුත් කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළා.
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ලබාදුන් නියෝග තුනක් අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම ගොනු කර තිබූ පෙත්සම් තුනක් ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ හා ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දු නිකුත් කළ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ ජී. සුරේන්ද්‍ර හා ඩී. ජේ. විජේවර්ධන යන මහත්වරුන් හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වග උත්තර කරුවන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එම පෙත්සම් ගොනු කර තිබුණා.
ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරි ධුර වලට සුදුස්සන් තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත්, එහිදී එක් එක් අපේක්ෂකයන් ලබාගත් ලකුණු හා ඔවුන්ගේ නම් ඇතුළු තොරතුරු ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා පෙරකී වගඋත්තරකරුවන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කළ පැමිණිලි සලකා බැලූ එම කොමිෂන් සභාව එකී තොරතුරු ලබා දෙන ලෙසට පැමිණිලිකාර ටෙලිකොම් සමාගමට නියෝග කොට තිබූ බවත් නඩු විභාගයේ දී සඳහන් වුණා.
මෙම සිද්ධියට අමතරව පැමිණිලිකාර සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් විවිධ කටයුතු සඳහා 2010 වසරේ සිට 2019 වසර දක්වා සිදු කළ විදේශ සංචාර සඳහා ලබාගත් ගුවන් ටිකට්පත් සඳහා වැය වූ මුදල් ඇතුළු තොරතුරු හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී. සුරේන්ද්‍රන් මහතා විසින් ඉල්ලා තිබූ අතර එම තොරතුරු ලබා දීම ද ටෙලිකොම් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබූ වකවානුවකයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
ඒ පිළිබඳ ලැබුණු පැමිණිලි සලකා බැලූ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව එකී තොරතුරු ලබා දෙන ලෙසට නියෝග කොට තිබූ අතර එකී නියෝගය ද අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනෙක් පෙත්සම ගොනු කර තිබීම මෙම නඩුවට ප්රස්තුත වුණා.
ව්‍යවස්ථාදායකය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසකම පිළිබඳ පනත සම්මත කර ඇත්තේ එය කාලීන අවශ්‍යතාවක් බවට වටහාගෙන බැවින්, පෙත්සම්කරුවන්ට තම කොමිෂන් සභාව විසින් ලබා දුන් පෙරකී නියෝගයට පිටුපා කටයුතු කිරීමේ නීතිමය අයිතියක් නොමැති බව එම කොමිෂන් සභාව වෙනුවෙන් නීතිඥ අරුණි සේනාරත්න මහත්මිය සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය පෙන්වා දුන්නා.
කොමිෂන් සභාවේ එකී තීරණය තම අධිකරණයද පිළිගන්නා බව විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාගේ එකඟතාව ඇතුළු විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ලියා සකස් කළ එම තීන්දු මගින් පෙන්වා දෙනු ලැබුවා.
