පිල්ලෙයාන් කල්ලියේ තවත් කෙනෙක්ව ගනී! ත්‍රස්ත පනතෙන් තියාගනී!

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ, ඔහුව ජුලි 07 වැනිදා කල්මුණේ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි.

මේ වන විට පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ අපරාධ පිළිබඳ සිදුකරන විමර්ශනවල දිගුවක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

2007, 2008 වර්ෂවල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය කිරීම්, වධකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබා ගැනීම් යන අපරාධ සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අදාල විමර්ශනය සිදු කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කනක්කාඩු පාර, අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. ඒ අනුව 2007 වර්ෂයේදී ඔහුගේ වයස අවුරුදු 17ක් පමණක් වන අතර, ඔහු ඍජුව සම්බන්ධ වූයේ කුමන අපරාධවලට කුමන කාලයේදීදැයි තවම වාර්තා වී නැහැ.

ඔහුව අත්අඩංගුවට ගැනීමේදීද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත පාවිච්චි කර තිබෙනවා. පැය 72ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Author

Related Posts