අනුරාධපුර ආලංකුලම ප්‍රදේශයේ හග්ගමුව කැලේ වගුරු සහිත කුඹුරු ඉඩමක අක්කර දහයක පමණ ප්‍රමාණයක ඉදිකෙරෙන ප්‍රධාන ගොඩනැගිල්ලක් ඇතුළු හිතුමතේ ඉදිකරන විවිධ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් හා වගුරු බිම ගොඩ කිරීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරින් මුනිවත රැකීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බව මව්බිම පුවත්පත වෙනුවෙන් එහි අනුරාධපුර ප්‍රාදේශීය වාර්තා කරු චූල බණ්ඩාර කුලසේකර වාර්තා කර තිබෙනවා.
ඒ අනුව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සහ පරිසරවේදී පී. බී. දිසානායක මහතා පුමුඛ පරිසරවේදීන් පිරිසක් මෙසේ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේ නමුත්, හිටපු මහ දිසාපති ජනක ජයසුන්දර, නාච්චාදුව ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන්ගේ ද ප්‍රාදේශීය මෙන්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ ද අනුමැතිය නොමැතිව ඉකුත් ආණ්ඩු සමයේ එනම් 2024 වසරේ මේ සඳහා ගොවිජන සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී ඇති අතර, මේ වනතුරුත් වර්තමාන දිසාපතිවරයාගේ හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය මෙයට ලැබී නැති බවයි සඳහන් වන්නේ.
එහෙත් මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම මාධ්‍ය මගින් දිගින් දිගටම දැනුවත් කිරීම හේතුවෙන් ඉකුත් වසරේ මේ වගුරු සහිත කුඹුරු ඉඩම් තහනම් කර ඉදිකිරීම් සඳහා අවස්ථාව ලබා දී නැති නමුත්, ඉකුත් වසරේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඡන්ද ප්රචාරක කටයුතු පවත්වන අවස්ථාවක දී හිටපු ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර කාටත් හොර රහසේ ම තම තනි බලය පාවිච්චි කර නැවත එම ඉඩමට අවසරය ලබා දී තිබෙනවා.
එලෙස ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා අනුගමනය කළ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හා මෙම මාතෘකාව ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැති මහමැතිවරණයෙන් පසු නැවත කරළියට පැමිණ තිබුණා.
ඒ අනුව 2024 දෙසැම්බර් 12 වැනි දා පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී මෙම ප්රශ්නය පැන නැගුණු අතර, සාමාන්‍ය පුරවැසියකුට අදාළ ලිපි ලේඛන සියල්ල සම්පූර්ණ කරගත්තත් මෙවැනි කටයුත්තකට නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීම ඉතා අසීරු වූ බවත්, මෙය ව්‍යාපාර කටයුත්තක් සඳහා බැවින් ද මේ සඳහා අවසර දිය යුතු ආයතන කිහිපයක් අවසර නො දී තිබිය දී නැවත අවසර ලබා දීම තුළ පැහැදිලිව ම අල්ලසක් දූෂණයක් වංචාවක් සිදුව ඇති බවට පෙනී යන බවත්, එහි දී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියා.
එහෙයින් ස්ථිරව නොව තාවකාලිකව මෙහි සියලු කටයුතු නවතා මුල සිට පරීක්ෂණ පවත්වන ලෙසටත්, එහි දී නිවැරැදිව මෙය සිදු වී ඇත්නම් අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසත්, අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.
එහෙත් ඉන් අනතුරුව නිලධාරීන්ගේ ලිහිල් උදාසීන, කම්මැලි හා නම්‍යශීලී ක්‍රියා පිළිවෙත හමුවේ මෙම ඉඩමේ හිමිකරු දැවැන්ත තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, කිසිඳු තාවකාලික නැවැත්වීමක් හෝ කිසිඳු පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබුණේ නැහැ.
කෙසේ නමුත් මෙම ඉඩමේ හිමිකරු විසින් වංචනිකව නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙය සිදු කරන බවට දැවැන්ත පුවරුවක් ද සවි කර මෙම ක්‍රියාව සිදු කරගෙන ගොස් ඇති අතර, මෙම සිද්ධිය ආරංචි වීමෙන් පසුව නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා එම ස්ථානයට ගොස් විරෝධය පළ කිරීමෙන් පසු එම ව්‍යාජ දැන්වීම් පුවරුව ඉවත් කර ගනු ලැබූ බවයි සඳහන් වන්නේ.
මාස හතක් වැනි කෙටි කලක් තුළ දැවැන්ත ඉදිකිරීම් රැසක් සිදු කරමින් පවතින අතර, මෙහි වාර්තා සැකසීමේ දී නිසියාකාර ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද නො කර මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය ආදී ආයතන කිහිපයක් ලිපි ගොනු මඟින් පමණක් මෙහි නීත්‍යනුකූල බව සකස් කර ඇති බව කියවෙනවා.
විශාල ජල ගැලීම් සිදු වන දිනවල දී ඉස්මත්තේ ඇති කුඩා වැව හරස් කිරීම තුළින් ඓතිහාසික යෝධ ඇළ හරහා පිටාර ගලන ජලය වගුරු බිම හරහා ආලංකුලම වැවට ගලා යෑම හරස් වීමෙන් අනාගතයේ දී ප්‍රධාන මාර්ගය මෙන්ම එම ගම්මානය ආසන්නයේ ඇති කුඹුරු ද මහා ජල ගැල්මකට ලක් විය හැකි බව බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබෙනවා.
මේ වන විට වගුරු බිමේ ජලය පිරී පැවති ස්ථානයත් සම්පූර්ණයෙන් ගොඩකර, ඉවතලන ලද ගොඩනැගිලි කොටස් මහා පරිමාණයෙන් රැගෙන විත් පුරවමින් ඇති අතර, ඒ සඳහා ද නිලධාරීන් කිසිවිටෙක බාධා පමුණුවා නැහැ.
කෙසේ නමුත් උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සහ පරිසරවේදී පී. බී. දිසානායක මහතා පුමුඛ පරිසරවේදීන් ඉල්ලා සිටින්නේ හිටපු ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු මෙයට සම්බන්ධ වූ සියලු නිලධාරීන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අල්ලස් කොමිසම මඟින් පවත්වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.
