රැකියා 50,000ට එහා නැතිවේවි! ජීවිත වැනසුණු අඳුරු අනාගතයක පෙරනිමිති වෙළඳ කලාපෙන් ඇසෙයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජිත තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල විය හැකි බවත්, එහි මුල් අදියරේදී රැකියා 50,000ක් දක්වා අහිමි වීමේ අවදානමක් පවතින බවත් නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් දකුණු හා අග්නිදිග ආසියාව පුරා රටේ තරඟකාරිත්වයට හානි සිදුවිය හැකි බවද එම සංගමය පෙන්වාදෙනවා.

එම සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ ආදායමෙන් 20%ක් පමණ, විශේෂයෙන් අපනයන මගින් උපයන ආදායම, මෙම තීරුබදු හේතුවෙන් අවදානමකට ලක්විය හැකි බවයි.

දැනට ඇති දත්තවලින් පෙනී යන්න ආකාරයට රැකියා 50,000ක් පමණ අහිමි විය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වන අතර, ඇඟලුම් අංශය සිය ඇඟලුම් හා රෙදිපිළි අපනයනයෙන් 20-25%ක් පමණ ඇමරිකාවට සිදු කරනු ලබනවා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරාත්මක වෙළඳ උපාය මාර්ගයේ කොටසක් ලෙස යෝජිත තීරුබදු, ශ්‍රී ලංකා භාණ්ඩවල තරඟකාරිත්වය බරපතල ලෙස අඩාල කළ හැකි බව ප්‍රනාන්දු මහතා අවධාරණය කළා.

පසුගිය අප්‍රේල් 2 වන දින ඇමරිකානු ජනාධිපතිවරයා සියලු ආනයන සඳහා 10%ක මූලික බද්දක් සහ ඇමරිකාව සමඟ ආනයන සහ අපනයන වෙළඳාමේ පරතරයක් ඇති රටවල් සඳහා සැලකිය යුතු ඉහළ අනුපාත ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාවට 44%ක ඉහළ තීරුබද්දක් යෝජනා වුණා.

දැඩි ජාත්‍යන්තර ප්‍රතිචාර හේතුවෙන්, ඇමරිකාව මෙම අමතර තීරුබදු ක්‍රියාත්මක කිරීම දින 90කට අත්හිටුවා සාකච්ඡා සඳහා ඉඩ ලබා දුන් නමුත් ජුලි 09 වැනිදායින් එම කාලසීමාව අවසන් වනවා.

මෙම අත්හිටුවීම ජූලි 9 වන දිනෙන් අවසන් වන අතර, පසුගිය සිකුරාදා ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු හඟවා තිබුණේ ඉදිරියේදී තීරුබදු ක්‍රියාත්මක වන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය අනුව සුදුසුම තීරුබදු අනුපාතය අවම වශයෙන් 10% ක අනුපාතයක් ලබාගැනීමට ලංකාව උත්සාහ කළ යුතු බව පවසා තිබුණා.

ධම්මික ප්‍රනාන්දු මහතා පෙන්වාදෙන්නේ, වියට්නාමය අඩු තීරුබදු ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වූ බැවින් ලංකාවටත් ඒ ආකාරයේ වාසියක් ලබාගැනීම යහපත් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ආර්ථික දිශානතිය වෙනස් කළ යුතු බවත් එක්සත් රාජධානිය, යුරෝපය සහ චීනය වැනි නව වෙළඳපොළවල් සොයාගත යුුතු බවත් ධම්මික ප්‍රනාන්දු මහතා තවදුරටත් සඳහන් කළා.

Author

Related Posts