සෝමාවතී පුදබිමට එන බැතිමතුන් දැඩි අසීරුතාවට පත් කරන හිඟුරක්දමන සමූපකාර ඉන්ධන පිරවුම්හල

පොළොන්නරුව හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පාලනය කරන ලද හිඟුරක්දමන ඉන්ධන පිරවුම්හල වසර කිහිපයක සිට විනාශයට පත්වෙමින් හා එහි යන්ත්‍ර සූත්‍ර මලකඩ කමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බව මව්බිම පුවත්පත වෙනුවෙන් මනම්පිටියේ නිමල් ජයරත්න මහතා වාර්තා කර තිබෙනවා.

ඔහු සඳහන් කර සිටින්නේ, පොළොන්නරුව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භයත් සමඟ 1930 වසරේ දී පමණ ඉදි කරන ලද මෙම ඉන්ධන පිරවුම්හලෙන් ගම්මාන ගණනාවක ජනතාව එදා සිට මෑතක් වන තෙක් ම කිසිදු අවහිරයකින් තොරව ඩීසල් හා පෙට්‍රල් ලබාගත් අතර, මේ වන විට ප්‍රමාණවත් පරිදි ඉන්ධන සංචිත නොමැති වීමත්, පිරවුම්හල අබලන් තත්ත්වයට පත් වීමත් නිසා ඉන්ධන අවශ්‍යතා සහිත ප්‍රදේශවාසීන් ඇතුළු පාරිභෝගික ජනතාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවයි.

හිඟුරක්දමන, හතේ කණුව, පහේ කණුව, ගල්අමුණ, ගැමුණුපුර, බී.ඕ.පී. තුන්සිය දහහත, කෝටිකාපිටිය, වරාහේන, වැලි ඇලයායගම ඇතුළු ගම්මාන රැසක ජනතාව ඉන්ධන අවශ්‍යතා සපුරා ගත්තේ මෙම ඉන්ධන හල මඟින් වන අතර. මෙම ගම්මාන වල ධාවනයේ පවතින විවිධ වර්ගවල රථවාහන 4,500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත්, ඒවාට නිසි වේලාවට සහ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

ප්‍රදේශවාසී ජනතාව තවදුරටත් පෙන්වා දී සිටියේ, තමන්ට තවත් කිලෝමීටර් දහයක පමණ දුරක් ගොස් වෙනත් ඉන්ධන පිරවුම්හලක් සොයායෑමට සිදු වන බව හා අවස්ථා ගණනාවක දී ම මෙය සංවර්ධනය කර ජනතාවට ප්‍රයෝජන ලබාගත හැකි ඉන්ධන පිරවුම්හලක් බවට පත්කරන බව බලධාරීන් පැවසුව ද එය මෙතෙක් ඉටු නොවීම කනගාටුවට කරුණක් වන බව යි.

විශේෂයෙන් ම සති අන්ත දිනවල හා අනෙකුත් නිවාඩු දිනයන් හී දී සෝමාවතිය වන්දනාමාන කිරීමට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රථ වාහන රියැදුරන්, හිඟුරක්දමන ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් දැඩි අසීරුතාවට පත් වන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් ප්‍රදේශයේ ගොවි ජනතාව ද පෙන්වා දෙනු ලබන්නේ, ගොවිතැන් කරන වකවානුවල දී තමන්ට හිඟුරක්දමන ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් ලබාගැනීමට නොහැකි වීම නිසා කිලෝමීටර් දහයක්, පහළොවක් දුර ගමන් කිරීමට සිදු ඇති බවයි.

නිමල් ජයරත්න මහතා මේ පිළිබඳව හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති එම්.එම්.ජේ.එන්.කේ. පුෂ්පකුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ, හිඟුරක්දමන ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට මූල්‍ය පහසුකම් අනුමත වෙලා තිබෙන බවත්, බොහෝ දුරට මෙම වැඩ කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව පවතින බවත් ය.

එහි දී එම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මේ පිළිබඳ ව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිපියක් ලබා දුන් බවත්, ලංකාපුර ප්‍රාදේශීය සභාවෙන් මේ පිළිබඳ අනුමැතිය ලබා ගත යුතු බවත් ය.

කෙසේ වෙතත් ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටින්නේ, තමාගේ පාර්ශවයෙන් සිදුවිය යුතු සියලු ම වැඩ කටයුතු මේ වන විට සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් මූල්‍ය පහසුකම් සම්බන්ධ ගැටලුවක් නොමැති බවත් හා ලිඛිත වැඩ කටයුතු කිහිපයක් පමණක් රජයේ කාර්යාලවලින් සිදු කර ගැනීම පමණක් ඉතිරිව ඇති නිසා එම වැඩ කටයුතු අවසන් වූ විගස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් ය.

Author

Related Posts