ඩිජිටල් සේවාවන්ටත් 18%ක VAT බද්ද පනවයි… සමාජ මාධ්‍ය හා ක‍්‍රිප්ටොත් ඇතුළත්…

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඩිජිටල් සේවාවන් සඳහා 2025 ඔක්තෝබර් 01 වන දින සිට එකතු කළ අගය මත​ බද්ද (VAT) අය කිරීමට රජය තීරණය කර ඇත.

2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතට අනුව මෙම බදු පැනවීම සිදු කරනු ලබන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ජූලි 01 වන දින නිකුත් කර ඇති අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් වන මගපෙන්වීම් ප්‍රකාශයට පත් කර ඇත.

ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් ( Electronic platform) හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සේවා සපයන අනේවාසික පුද්ගලයන් මෙම ඩිජිටල් සේවා බද්දට යටත් වන අතර පසුගිය මාස 12ක කාලය තුළදී රු. මිලියන 60 ඉක්මවූ සේවා සපයා ඇත්නම් හෝ අවසාන කාර්තුව තුළදී රු. මිලියන 15 ඉක්මවා සීමාවන් ඉක්මවන අනේවාසික සේවා සපයන්නන් VAT සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මෙම බද්දට යටත් වන ඩිජිටල් සේවා ක්ෂේත්‍රයන් පිළිබඳ වැඩි විස්තර අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

ගැසට් පත්‍රයේ 1.3 වගන්තිය යටතේ ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන පහත සේවාවන් බදු අය කළ හැකි සැපයුමක් ලෙස සලකනු ලබන නමුත් ඒවාට පමණක් සීමා නොවේ.

i. මේඝ පරිගණනය (Cloud Computing): සත්කාරක සේවා, පරිගණක ගබඩා පහසුකම් සහ පරිගණක බල සේවා (computing power services)
ii. සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS): වෙබ් පාදක යෙදුම්
iii විද්‍යුත් වාණිජ්‍ය සේවා : මාර්ගගත වෙළඳ සැල් (Online stores), ගෙවීම් ද්වාර සහ ඇණවුම් ඉටු කිරීමේ සේවා.
iv. ඩිජිටල් අලෙවි කරණය සහ වෙළඳ ප්‍රචාරණය: සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO), සමාජ මාධ්‍ය අලෙවිකරණය, PPC දැන්වීම් සහ විද්‍යුත් තැපැල් අලෙවිකරණය (email marketing)
V. සයිබර් ආරක්ෂණ සේවා; තර්ජන හඳුනා ගැනීම, ෆයර්වෝල් ආරක්ෂාව සහ දත්ත සංකේතනය
VI. තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණය කළ සේවා: දුරස්ථ තාක්ෂණික සහාය, තොරතුරු තාක්ෂණ උපදේශන සහ උපකාරක සේවා විසඳුම්
vii. ප්‍රවාහ සේවා: වීඩියෝ, සංගීතය, සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා
vili. මූල්‍ය තාක්ෂණය (FinTech): මාර්ගගත බැංකුකරණය (Online banking) ගෙවීම් සකසනයන් (PayPal, Stripe සහ cryptocurrency හුවමාරු)
IX. E- වාණිජ වේදිකා (E-commerce Platforms)
Χ. සමාජ මාධ්‍ය (Social Media Platforms)
xi. ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms)
xii. අන්තර්ගතය බෙදා ගැනීමේ වේදිකා (Content Sharing Platforms)
xili. Cloud collaboration වේදිකා
xiv. වෙළඳ පොළ වේදිකා (Marketplace Platforms)
XV. සූදු ක්‍රීඩා වේදිකා (Gaming Platforms)
xvi. Blockchain සහ NFT වේදිකා: OpenSea, Binance, Ethereum-පාදක යෙදුම් (apps)
XVii. සාමාජිකත්වය සඳහා දායක මුදල් ගෙවනු ලබන වෙබ් අඩවි
xviii. හෝටල් වෙන් කිරීම්, ටිකට්පත් වෙන් කරවා ගැනීම සඳහා යෙදුම් භාවිතය

මේ අනුව ඉහත සඳහන් ඩිජිටල් සේවාවන් සැපයීම, 2025 ඔක්තෝබර් 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත් වනු ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading