ජාතික අනතුරු නිවාරණ සතියක් හෙට සිට ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ රෝහල් ගතවීම් අතරින් වැඩිම සාධකය හදිසි අනතුරු බවට හඳුනාගෙන ඇත. අනතුරු නිසා වසරකට පුද්ගලයින් 12000 පමණ ජීවිතක්ෂයට පත්වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.
ඉන් 1/4 ක් මාර්ග රිය අනතුරු නිසා සිදු වන අතර නොදැනුවත්කම හා අත්හදාබැලීම් හේතුවෙන් ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසනවා.
සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ආකාරයේ අනතුරකට පත්වන බවට හෙළිවී ඇත. එසේම සෑම විනාඩියකටම අවම වශයෙන් 6ත් 8ත් අතර සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකි අවදානම පවතින බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ හදිසි අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් 15ත් 44ත් ඵලදායී වයස් සීමාවන්ට අයත් වන අතර එම වයස් කාණ්ඩයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ අනතුරුයි.
හදිසි අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමුවන පිරිසගෙන් වසරකට 2,500ත් 3,000ත් අතර සංඛ්‍යාවක් මියයන බවට වාර්තා වන අතර “හදිසි අනතුරු” රෝහල්වල සිදුවන මරණවලට හේතුවන සාධක අතරින් 10 වන තැනට පත්ව ඇත.
අනතුරු නිසා සෑම පැය තුනකදීම අවම වශයෙන් 4 දෙනෙකු මරණයට පත් වන අතර, හදිසි අනතුරු මරණ 7,500ක් 8,000ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකිරීමට පෙරම සිදු වන බව වාර්තා වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අනතුරු නිවාරණය පිළිබඳ ජනතාවගේ දැනුවත් බව ඉහළ නැංවීම මෙම සතිය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ජූලි 7 දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
