රුදාව, කැක්කුම, කැහිල්ල සහ වගා නොකළ ඉඩම් රජයට ගැනීම ගැන ලාල්කාන්තගේ තර්ජනය…

ඉඩම් රජයට ගන්න නීති තියෙනවා… ආණ්ඩුව වෙනයි රජය වෙනයි…

වගා නොකර පවතින වගා කළ හැකි සියලුම ගොඩ සහ මඩ ඉඩම් ප්‍රථිපලදායක ලෙස වගා කිරීමට ආණ්ඩුවට අවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. “එක මිටට ගොවි බිමට” වගා නොකරන ඉඩම් කාර්යක්ෂමව වගා කිරීමේ ජාතික වැඩසටහනට යටතේ වත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඊයේ(4) පැවති වැඩසටහනක එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙය රටේ ආර්ථිකයට අවශ්‍ය ආකාරයට සිදු කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇති බව ඔහු සඳහන් කළා. නමුත් උවමනාව තිබු පමණින් ඒවා සාර්ථක කළ නොහැකි බවත්, ආණ්ඩුවක් බලයට ආ පසු ඒ ආණ්ඩුවේ වැඩසටහන රජය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු එහිදී පැවසුවා.
ආණ්ඩුව වෙනයි, රජය වෙනයි යනුවෙන් පවසමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුව සහ රජය අතර සම්බන්ධය යනුවෙන් අදහස් කරන්නේ නව ආණ්ඩුවක් පත් වූ පසු ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙල සහ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාවට නැගීම බවයි.

ඒ අනුව ආණ්ඩුව ගෙනවිත් ඇති වැඩපිළිවෙල වන වගා කළ හැකි වගා නොකර ඇති ඉඩම් වල වගා කරවීමට කටයුතු කිරීමට, රජය ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට වගකීමක් ඇති බව ලාල්කාන්ත පැවසුවා.
ආණ්ඩුවට වුවමනාවක් තිබ්බත්, රජයේ දෙපාර්තමේන්තු වලට වුවමනාවක් තිබුණද, මේ කාර්යය වෙනුවෙන් වන කැපවීම රටේ ජනතාවට නොමැතිනම් මේ කාර්යය සාර්ථක කළ නොහැකි බව ඔහු සඳහන් කළා. මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩුවට, රජයට සහ ජනතාවට යන තුන්ගොල්ලටම මේ පිළිබඳ රුදාවක්, කැක්කුමක් සහ කැහිල්ලක් තිබිය යුතුයි. එසේම ගොවි සංවිධානයට සහ ප්‍රදේශය සඳහා තමන් පත් කරගත් මහජන නියෝජිතයාට ද, කොට්ටාශයේ මන්ත්‍රීවරයාටද රුදාවක් තිබිය යුතු බව ඒ මහතා සඳහන් කළා.

වැඩසටහනක් සකස්කර ඊට අදාළ එකඟතා සකස් කර ගත යුතු අතර ඉන්පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඒ සඳහා මුදල් වෙන් කර ගත යුතුය. කොට්ටාශ මන්ත්‍රීවරයා විසින් මේ පිළිබඳව සොයා බැලිය යුතු අතර දෙපාර්තමේන්තු නිළධාරීන් සමග සම්බන්ධිකරණය, මැදිහත් වීම ඇතුළුව වගකීම් සහගත විය යුතු බව ඔහු පෙන්වා දුන්නා.
එසේම ගොවි ජනතාව, දෙපාර්තමේන්තු, මහජන නියෝජිතයින්, දේශපාලන නායකත්වය යන සියල්ල මනා සම්බන්ධතාවයකින් යුක්තව වැඩ කිරීම තුළින් පමණක් ඵලදායී දේවල් බලාපොරොත්තු හැකි බව ඔහු සඳහන් කළා.
යම්කිසි පුද්ගලයෙකු වගා කළ හැකි ඉඩමක් වගා නොකරන්නේ නම් ඒ ඉඩම සම්බන්ධයෙන් පියවර ගැනීමට රජයට බලයක් තිබෙන බව අමත්‍යවරයා සඳහන් කළා. තමාගේ ඉඩම සින්නක්කර ඔප්පු තිබූ පමණින් තමාට ඕනෑ විදිහට තබා ගත නොහැකි අතර ඒවා ජාතික සම්පත් බැවින් ජාතික ආර්ථිය වෙනුවෙන් ඒවා පාවිච්චි කිරීම අනිවාර්යය වේ. ඉඩම් සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමට පෙර තමන්ම තීරණයක් ගෙන ඒවා වගා කිරීමට කටයුතු කළ යුතු අතර යම් හෙයකින් තමාට වගා කිරීමට නොහැකි නම් වගා කළ හැකි කෙනෙක් සමග ඔහු එකඟතාවයකින් එම ඉඩම වගාකළ යුතුයි.
වගා කිරීමට කැමැත්තක් දක්වන නමුත් ඉඩමක් නොමැති බොහෝ අය සිටින බැවින් එවැනි පුද්ගලයෙකු සමග දෙපාර්ශවය ගිව්සුම්ගතව හෝ වගා කළ යුතුය.

ගොවි සංවිධාන තීරණය අරගෙන තමන් දන්නා වගා නොකළ ඉඩම් තෝරාගෙන අදාල නිළධාරීන්ද හමු වී වගා කරන තත්ත්වයට පත් කළ යුතුය. මින් අදහස් වන්නේ වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට නොවන බව ඇමතිවරයා සඳහන් කළා. රජයට පවරා නොගන්නා නමුත් සාමූහිකව ගොවි සංවිධාන, කු.ප.නි.ස. නිළධාරීන්, සංවර්ධන නිළධාරීන් සහ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග තමන්ගේ ගමේ තමන්ගේ භුමියේ ඇති සෑම වග කළ හැකි ඉඩමක්ම වගාකිරීමට කැපවීමට අධිෂ්ඨානයක් හදා ගත යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading