ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන අද (04) ආරම්භ වූ අතර එහි සමාරම්භක උත්සවය අද සවස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මීට සමගාමීව ග්‍රාමීයව සුවිශේෂී වැඩසටහන් හා සම්පත් භාවිතා කරමින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක වේ.
මෙරට ජනගහනයෙන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් බහුමාන දරිද්‍රත්වයෙන් පෙළෙන බවත්, ඉන් 95.3%ක් ග්‍රාමීය සහ වතු ආශ්‍රිත ප්‍රදේශ වල ජිවත් වන බවත් අනාවරණය වී ඇති බව පැවසේ. මෙම තත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතීම රටේ ආර්ථික සහ නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන බව හඳුනාගෙන ඇති අතර විවිධ රජයන් යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ඒකාබද්ධතා ප්‍රවේශයක් ඔස්සේ ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන බව පැවසේ. මේ සඳහා ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර ඇති අතර අමාත්‍යවරුන් 9 දෙනෙකු එහි සාමාජිකත්වය දරනු ඇති බව පැවසේ.
ප්‍රජා ශක්ති නිලවෙබ් අඩවිය එළිදැක්වීම ද අද දින සමාරම්භක උත්සවයට සමගාමීව සිදු විය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ආර්ථිකයේ අවස්ථා ග්‍රාමීය ජනතාවට උරුම වෙන්නේ නැතිනම් ඔවුන් එහි පංගු කරුවන් නොවේනම් සාමාන්‍ය ජනතාව යනු මිනිස් දූවිලි වගේ වන බවයි. මෙම වැඩසටහනේ ප්‍රධානම ප්‍රවේශය වන්නේ ග්‍රාමීයව විසිරුණු ජන ප්‍රජාවන් එම ආර්ථිකයේ පංගු කරුවන් බවට පත් කර ගැනීමයි. ඈත ගමකට ගිහින් බැලුවොත් ඔවුන්ට නියැලෙන්න තිබෙන ආර්ථික අවසථා මොනවා ද? කුඹුරක් තිබ්බොත් වගා කරන්න,වැවක් තිබ්බොත් මාළු අල්ලන්න, ගඟක් තිබ්බොත් වැලි ගොඩ දාන්න වැනි ඉතාම සීමිත ආර්ථික අවස්තාවන් ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. ඒ නිසා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ අභියෝගයක් තිබෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට දුප්පත් කම ගලාගෙන එනවා. රජයේ කාර්යාලයකට ගියොත් දුප්පත් කෙනෙකුට රජයේ කාර්යාලය දක්වන ප්‍රතිචාරය මොකක්ද? පොලිස් පැමිණිල්ලක් කරන්න ගියාම පොලිසියේ ප්‍රතිචාරය, පාසලේ දුප්පත් දරුවෙක් කෙරෙහි ප්‍රතිචාරය කුමක්ද? එම නිසා දුප්පත් බාවය එක පැත්තකින් ආර්ථික ප්‍රශනයක්. අනික් පැත්තෙන් සමාජ ඛේදවාචකයක්….
වැඩසටහන පිළිබඳව පැහැදිළි කිරීමක දී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය, ප්‍රධාන අරමුණු තුනක් මූලික කරගනිමින් සමාජය සවිබලගැන්වීම, ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.
මේ අනුව, ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ, සන්ධාන ව්‍යූහය තවත් පහළට ගෙනයාමක් සිදුවෙමින්, ග්‍රාම නිලධාරී වසම් 14,000ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් මෙහෙයවීමට සහ ප්‍රගතිය විමසා බැලීමට දැනටමත් දිස්ත්‍රික් මට්ටමෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තිබෙන අතර ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් ප්‍රාදේශීය ලේකම් සම්බන්ධීකරණ කමිටු තිබේ. මෙම කමිටු දෙකේම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරීන් එකතුවෙන් සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සොයා බැලීම, සංවර්ධන යෝජනා සලකා බැලීම, ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ තීරණ ගනී.
නමුත් අලුතින් මේ හඳුන්වා දෙන ව්‍යූහය තවත් බිම් මට්ටමට ගමන් ගන්නා අතර දිස්ත්‍රික් මට්ටමේත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙත් තිබෙන සන්ධාන ව්‍යුහය තවදුරටත් ගමට ගෙනගොස් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ප්‍රජා සංවර්ධන සභාවක් නිර්මාණය කරන බව අමත්‍යවරයා සඳහන් කළා. ගමේ නිලධාරීනුත් ප්‍රජාවත් එක්ව මෙම ප්‍රජා සංවර්ධන සභාව නිර්මාණය කරන අතර ඒ අනුව සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකටම ග්‍රාම සංවර්ධන සැලැස්මක් පිළියෙල කළ යුතු වේ. ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ ආරම්භය සිදු කරන්නේ ප්‍රජා සංවර්ධන සභාව මඟින් වන අතර තම ගම කුමන ආකාරයට සංවර්ධනය වන්නේ ද යන්න තීරණය කරන්නේ ජනතාවයි. ඊට අවශ්‍ය මඟපෙන්වීම සහ පහසුකරණය කිරීම සඳහා රජය නිලධාරීන් සම්බන්ධ වන බවත් ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීම පමණක් නොව එහි ප්‍රගතිය විමසා බැලීම සහ මෙහෙයවීම, ඇගයීම යනාදී කරුණු සියල්ලම ගමේ ප්‍රජා සංවර්ධන සභාවේ වගකීමක් බවට පරිවර්තනය කරන බව අමාතයවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.
