තනි කම්කරු නීති කෙටුම්පත සහ අලුත් කමිටුව ගැන අපිට කතා කරන්න ඕන – NLAC වෘත්තීය සමිති ඇමතිට දන්වයි…

නව සේවා නියුක්ති පනත් කෙටුම්පත හා එහි සංශෝධන පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂ කමිටුව පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින් 2025 ජූලි මස 03 වන දින පැවැත්වීමට නියමිත න්‍යාය පත්‍රයට එය ඇතුළත් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටී.
ජාතික කම්කරු උපදේශක සභාවේ සමාජිකයින් විසින් අත්සන් කර කම්කරු අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීමක් සිදු කර ඇත. එම ලිපියේ පහත පරිදි සඳහන් වේ.

2025-06-02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ යන මාතෘකාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයෙහි අංක 14 යටතේ කෙටුම්පත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම යන ශීර්ෂය සහිතව එහි සඳහන් කර ඇති අමාත්‍ය මණ්ඩල තීරණය කෙරෙහි පහත අත්සන් කරන ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති වල අවධානය යොමු කරන ලදී.


එහිදී අප සංගම්වලට පෙනී යනුයේ වත්මන් රජය ද, පසුගිය රජයන් විසින් විටින් විට ගෙන එන ලදුව එවකට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කළ අති බහුතරයක් වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරන ලද. එහෙත් ක්‍රියාත්මකව පවතින පනත් 13 ක් අධ්‍යනය කර තනි සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා පසුගිය රජය විසින් නීති කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඒ අනුව සකස් කර ඇති දළ නීති කෙටුම්පත නව රජයේ ප්‍රතිපත්තිය අනුව තවදුරටත් සළකා බැලීම සඳහා කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වය යටතේ කමිටුවක් පත් කිරීමට ඔබ ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවය.


ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල යෝජනාව පිළිබඳව 2025 ජුලි මස 01 වන දින වත්මන් ජාතික කම්කරු උපදේශක සභාවට අයත් වෘත්තීය සමිති සාකච්ඡා කර තීරණය කරන ලද පහත දැක්වෙන තීරණ ඔබ වෙත මින් දන්වා සිටින්නෙමු.

  1. ඉහතින් සඳහන් කළ පරිදි යෝජිත කමිටුව විසින් සළකා බැලීමට නියමිත නීති කෙටුම්පතපදනම් වී ඇත්තේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කළ වෘත්තීය සමති බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ලද කම්කරු නීති ප්‍රතිසංස්කරණ මත වන බැවින් එකී කම්කරු නීති ප්‍රතිසංස්කරණ පහත අත්සන් කර අප වෘත්තීය සමිති ද ප්‍රතික්ෂේප කරන බැවින් එවැනි නීති කෙටුම්පතක් සළකා බැලීමේ අවශ්‍යතාවයක් තව දුරටත් නොමැති බව, අප සංගම් තීරණය කළෙමු.
  2. පසුගිය රජයන් වලට වඩා වෙනස් වූ ශ්‍රම ප්‍රතිපත්තියක් වත්මන් රජයට තිබේ නම් සහ කම්කරු නීති ප්‍රතිසංසකරණ ගෙන ඒම සඳහා පසුගිය රජය පෙන්වා දුන් හෙතුන් සම්බධයෙන් වත්මන් රජයේ ස්ථාවරය සහ ශ්‍රම ප්‍රතිපත්තිය කුමක්දැයි රජය විසින් ප්‍රකාශයට පත් කළ යුතු බවත්, රජයේ එම ප්‍රතිපත්තිය අනුව කිසියම් කම්කරු නීති ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ යැයි වත්මන් ජාතික කම්කරු උපදේශක සභාව තීරණය කරන්නේ නම් එවැනි ප්‍රතිසංස්කරණ සකස් කිරීම පිළිබඳව සළකා බැලීමේ හැකියාව ඇති බව අප සංගම් තීරණය කළෙමු.
    එබැවින් අපගේ මෙම ලිපිය 2025 ජුලි මස 03 වන දින පැවැත්වීමට නියමිත ජාතික කම්කරු උපදේශක සභාවේ සාකච්ඡාව සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading