නීතිපතිවරයා විසින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක හිටපු ප්රධානියකුට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න පෙරේදා (1 වැනිදා) නියෝග කර සිටියා.
අංක HC 39/2019 දරන මෙම නඩුවේ විත්තිකරු ලෙස අදාළ ප්‍රධාන පෙළේ බැංකුවේ මූලස්ථාන ශාඛාවේ සහකාර සාමාන්‍යාධිකාරවරයෙකු ලෙස කටයුතු කළ විතානගේ දොන් දයානන්ද නම් කර තිබූ අතර, අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීමට කටයුතු කළා.
2006 ජුනි මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ දී යශෝධා සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරුන් විසින් 1995 ජුලි 27 වැනිදා ලියා අත්සන් කර අදාළ රාජ්‍ය බැංකුවේ මුලස්ථාන ශාඛාව වෙත ඉදිරිපත් කර ඇති බවට හැඟවෙන පරිදි සකස් කර තිබූ රුපියල් කෝටි 200 කට අදාළ පුද්ගලික සුරැකුම් පතක් ලෙසට සාදන ලද ලේඛනයක් කූට ලෙස සාදනු ලැබූ බව දැන දැනම ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබිය දී එම ලේඛනය නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස වංචනිකව භාවිතා කිරීමෙන්, එනම් කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවැති අංක 122/2004 දරන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වී ඉහත සඳහන් ලේඛනය නඩු භාණ්ඩයක් ලෙස විත්තිකරු විසින් ඉදිරිපත් කළ බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු සිදු කර ඇතැයි සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබුණා.
සාක්ෂිකරුවන් 22 ක් හා නඩු භාණ්ඩ 18 ක් නම් කර තිබූ මෙම නඩුව සඳහා, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් හේවාපතිරණ, රොෂාන් ඩයස් සහ මහසෙන් සිල්වා පෙනී සිටියා.
