මාළිමාවට ලැජ්ජා නැද්ද? පොලිස් ආරක්ෂාව මැද නෝවුඩ් නව සභාපති වැඩ අරඹයි…(ෆ්‍රැන්සිස් ඇලන් සිද්ධිය)

මාළිමා තොණ්ඩමන් හවුලට බියේ පොලිස් ආරක්ෂාව මැද නෝවුඩ් නව සභාපති වැඩ අරඹයි…

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගත් ජාතික ජන බලවේග අපේක්ෂක නව සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඊයේ (2) දින එම සභාවට පැමිණ ධුරයේ වැඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ කර ඇත.

නව සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් ජාතික ජන බලවේගයෙන් ඡන්දයට ඉදිරිපත් වුවද, ඔහුද ඇතුළුව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට එකඟ නොවී ස්වාධීනව කටයුතු කරමින් සිටී.
කෙසේ නමුත් ඔහු නිළ වශයෙන් ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ “නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවයි. වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සභාවට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ තේරි පත්ව පසුව ස්වාධීන වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා ඇතුලු සෙසු සභිකයන් 06 දෙනා, දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් පත් වූ සභිකයන් 05 දෙනා සහ ආධාරකරුවන් සමග සභාව වෙත පැමිණ නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභවේ කාර්ය මණ්ඩලය සමග ඉදිරි වැඩ පිලිවෙළ පිලිබදව දැනුවත් කළේය.

ජාතික ජන බලවේගය ලංකා කම්කරු කොංග්‍රසය සමඟ සංධානගත නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවනු ලැබුවා. ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය ජාතික ජන බලවේගයේ සහාය ඇතිව කොටගල, අගරපතන සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා වල බලය පිහිවූ අතර ජාතික ජන බලවේගය ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ඇතිව අනෙකුත් සභාවල බලය පිහිටුවීමට සමත් වුණා.

නමුත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ තත්ත්වය අනෙකුත් ප්‍රාදේශීය සභා වලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇති වාර්තා වේ. එහි බලය ලංකා කම්කරු කොංග්‍රසයට (CWC) පැවරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතත්, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් පක්ෂයේ තීරණයට එකඟ නොවූ බවට වාර්තා වේ.

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගණපති රවී කුලන්දවේල්ට එරෙහිව විවිධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු නැවත සභාපති ධුරයට පත් කිරීමට ඡන්දය නොදෙන බවට ජාතික ජනතා බලවේගයේ සාමාජිකයින් තීරණය කර තිබී ඇත. ජූනි 27 දින නොර්වුඩ් ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිරයා තෝරා පත් කර ගැනීම සඳහා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන්, හිටපු මන්ත්‍රී මරුතපාන්ඩි රාමේෂ්වරන් සහ තවත් බොහෝ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා නායකයින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට රැස් වී සිට ඇත. ජාතික ජනතා බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ද එහි පැමිණ තම පක්ෂ සාමාජිකයින් ලංකා කම්කරු කොංග්‍රසයේ රවී කුලන්දවේල් සභාපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කර තිබූ බව වාර්තා වේ.

නමුත් ජාතික ජන බලවේගයේ සාමාජිකයින් රවී කුලන්දවේල්ට ඡන්දය නොදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු වන ෆ්‍රැන්සිස් හෙලන් සභාපති ලෙස ප්‍රකාශ කර ඔහුට ඡන්දය දුන් අතර, SJB සාමාජිකයින් ද ෆ්‍රැන්සිස් හෙලන්ට ඡන්දය දී සහය පල කර ඇත.

වැඩිම ඡන්ද ලබාගත් හෙලන් ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස තේරී පත් විය. ලංකා කම්කරු කොංග්‍රසයේ රවී කුලන්දවේල් ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත් නොකිරීම ගැන කලකිරී සිටි ජාතික ජනතා බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් නායක මංජුල සුරවීර සහ සෙන්දිල් තොන්ඩමන් ඇතුළු CWC නායකයින් කලකිරීමට පත්වී එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

ජාතික ජනතා බල පක්ෂයේ සාමාජිකයෙකු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට ගොස් ෆ්‍රැන්සිස් හෙලන්ට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස තර්ජනය කළ බවටද ආරංචි මාර්ග සඳහන් කරයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිළ වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට CWC පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ.

මාළිමාවට ලැජ්ජා නැද්ද?

CWC සහ NPP පූට්ටුවට අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන්ට ආතල් වුණාට බිම් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ එසේ නොවන බව තේරුම්ගැනීමට නෝවුඩ් ඇලන් ෆ්‍රැන්සිස් සිද්ධිය කදිම උදාහරණයකි. මන්ද යත් CWC එකේ කුලන්දවේල්ට සහය දී පත් කරන ලෙස දිස්ත්‍රික් නායකයා දිස්ත්‍රික් නායකයා කියද්දීත් නෝවුඩ් දිනපු NPP මන්ත්‍රීවරු එරෙහි වී ඇත.
ඒ මන්ත්‍රීවරුන්ගේ තීරණය ඉතා හොඳ සහ ඓතිහාසික තීරණයකි. කුලන්දවේල්ලා 2018 කාලයේ කරපුවා මංජුල සුරවීර ආරච්චිට අදාළ නොවෙනවා විය හැකියි. ඒ නරුමත්වයන් පිළිබඳව නෝවුඩ් ජනතාව සහ පත් වූ නියෝජිතයන් හොඳින් දන්නවා විය යුතුය. අනික් CWC සහ NPP පූට්ටුවෙන් ජනතාවට කිසිදු සෙතක් නොවන බව ඔවුන් නිසැකවම දනී. මක් නිසාද යත් සෙන්දිල්ලා ඇතුළු තොණ්ඩමන් පරම්පරාව දඟලන්නේ නැවත පස්ස බිම ඇනුණු තැනින් පටන් ගන්නට මිස මන්ජුලලා සමග ඉතා යහපත් දීගයක් කන්නට නොවේ.

අනික් පසින් සෙල්වී මන්ත්‍රිනියට තොණ්ඩමන්ලා පිළිබඳව සූරවීර ආරච්චිට ඉගැන්විය යුතුව ඇති සිතේ. එලෙස හිතෙන්නේ උපාය මාර්ග යයි කියා ශත වර්ෂයට ආසන්න කාලයක් වතුකරය සුද්දාගෙන් පස්සෙත් කොලනියක් කළ පාලකයන් සමග ලගින්නට යන බැවිනි.
නෝවුඩ් ප්‍රාදේශීය සභාවට තමන්ව පත් කරන ලෙස NPP මන්ත්‍රීවරු ජනතව ළඟට ගොස් කියන්නට ඇත. ඒ කියන වචන තුළ CWC ඓතිහාසික පාලනය පිළිබඳව දැඩි ලෙස විවේචනය කර ඇත. ඒ විවේචනයන් සත්‍ය බව සපත කරමින් ජනතාව NPPට ඡන්දය දී ඇත. ජන්දයෙන් පසු පසුගිය කාලයේ දුෂිතයන් යයි කියා විවේචනය කරපු පිරිස් සමගම එක්ව ජනතාව ඉදිරියට යන්න කීම ලැජ්ජා සහගතය. මෙහිදී අහන්නට ඇත්තේ මාළිමාවට ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැද්ද යන්නය. දුෂිතයන් සහ ජනතාව කොල්ලකෑ බව NPPයාම පැවසූ පක්ෂයක් සමග හවුල් වෙන්න කියා බලපෑම් කිරීම නින්දිත ක්‍රියාවකි. එහිදී තම ප්‍රතිපත්ති පාවා නොදුන් හෙලන්ලාට ප්‍රසංශාව හිමි විය යුතුය.

කවුද මේ කුලන්දවේල්?

ගණපති කුලන්තවේල් රවී CWC අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කර 2018.06.04 වන දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලදී. ඔහු එතැන් පටන් සිදු කළ දේවල් වල නිත්‍යානුකුල බාවය අද සිට නව සභාපති ඇතුළු සභාව විසින් හෙළිදරව් කළ යුතුව ඇත. මේ පුද්ගලයා, එවකට සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ මොහුගේ නෑ හිතවතුන් සඳහා මොහු කර ඇති උදව් සහ එලෙස උදව් කිරීමට මොහුට තුබූ වත්කම් ගැන සෙවිය හැකිය. මේ අයගේ වත්කම් පිළිබඳව සොයා බලද්දී ඉඩම් ගැන විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

කුලන්දවේල්ගේ මැරකම් ඇතුළු වෙනත් ක්‍රියා තිබේද යන්න තොන්ඩමන්ලා ඉතා හොඳින් දනී. ආරමුගම් තොන්ඩමන් මහතා සිටියා නම් ඔහුගෙන් තොරතුරු ගෙන මෙයා ගැන පොතක් ලියන්නට තරම් කරුණු ගන්නට තිබිණි. අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා මොහුට විරුද්ධව ජනතාව පාරට බහිද්දී එවකට ආණ්ඩු නොදැක්කා වගේ සිටියේය.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටියදී 2022 දී බගවන්තලාව බි්‍රඩ්වෙල් වතුයායේ වතු කම්කරුවන් විසින් තේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා වෙළෙඳසල් ඉදිකරන බවට චෝදනා කරමින් උද්ගෝෂණය කළහ.
එසේම මොහු රජයේ වාහන අවභාවිත කළ පුද්ගලයෙකි. නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට අයත් PA-7017 අංක දරණ කැබ් රථය රියදුරා සමඟ ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා සහ පරිහරණය කරන බවට ඔහුට චෝදනා එල්ලේ විය. එසේම පළාත් පාලන ආයතන විසුරුවා තිබියදීත් ප්‍රාදේශීය සභාවේ කැබ් රථ පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරන ලදී.
මොහු විසින් පුද්ගලයන්ට පහර දීම පිළිබඳව නොඅඩුවම අසන්නට ලැබේ. මෙවන් සිද්ධි වලදී පොලිස් කටයුතු වලින් මොහුව බේරා ගන්නා ලද්දේ තොණ්ඩමන්ලා විසිනි.
මිට අමතර වතුකරයේ ජඩ නායකයින් සහ පාලකයින් විසින් සිදු කරන ලද අමන ක්‍රියා පිළිබඳව බගවන්තවලාව සහ ආරියපුර ප්‍රදේශ වල ජනතාවගෙන් දැනගත හැකි වනු ඇත.

මෙවන් පුද්ගලයන් ගාණට මංජුල සුරවීර ආරච්චිලා වැටෙන්නේ නම් එය ඉතා භයානකය. මන්ජුලලා තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු කියල කිව්වේ තොන්ඩමන්ලා සහ කුලන්දවේල් වගේ අය ගැනද? ලස්සන වතුකරයක් හදන්නට යන්නේ මෙවැනි ය සමගනම් ඒ ලස්සන කිසිදා හැදෙන්නේ නැත. මක් නිසාද යත් මේ වතුකරය අරක්ගත් දේශපාලනික පිළිල මේ පුද්ගලයන් බැවිනි. මංජුල සුරවීරලාව මිනිස්සු තොර ගත්තේ මේ අය කරගෙන ගිය දුෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කර ක්‍රම වෙනසක් සඳහාය. නමුත් එම දුෂිතයන්ම නැවත ප්‍රාදේශීය සභාවේ නායකයා කරගන්නට කීම කොතරම් නින්දිතද? වතුකරය ඉතා අසීරු කොන්දේසි යටතේ ඓතිහාසික තීන්දුවන් ගන්න ලදී . ඒ තොණ්ඩමන්ලාගේ ඒකාධිපති රාජ්‍ය දෙදරවීමයි. ඒ අසීරු ඓතිහාසික තීන්දුව කෙලෙසන්නට එපා යයි ජනතාව NPPයෙන් ඉල්ලා සිටී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading