සාම ගිවිසුමක් සඳහා හමාස් සංවිධානය සමඟ එකඟ වීමට ඊශ්‍රායලය සූදානම් – ට්‍රම්ප් කියයි.

ජිමුත් ඉඳුසර රත්නායක

සිවිල් හා අහිංසක ජනතාව කුරිරු ලෙස ජීවිත වන්දි ගෙවූ  60,000 කට ආසන්න ජීවිත ප්‍රමාණයක් බිලිගත් ගාසා තීරයේ අමානුෂික යුද්ධය අවසන් කරමින් සාම ගිවිසුමක් සඳහා හමාස් සංවිධානය සමඟ එකඟ වීමට ඊශ්‍රායලය සූදානම් ව සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

Truth Social හි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ  “දින 60 ක බලපැවැත්වෙන සටන් විරාමය අතරතුර මෙම යුධ තත්ත්වය අවසන් කිරීම සඳහා වන කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වී ඇති බවත්, එම කාලය තුළ තමා යුද්ධය අවසන් කිරීමට සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් කටයුතු කරන බවත්” ය.

මෙම සටන් විරාමය සඳහා තුන්වන පාර්ශවයක් ලෙස මැදිහත් වූ කටාර් රාජ්‍යය හා ඊජිප්තුව විසින් සාම ගිවිසුම සඳහා වන මෙම “අවසාන යෝජනාව” කෙටුම්පත් කර ඉදිරිපත් කරනු ඇති බව වැඩිදුරටත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති නමුත්, ඊශ්‍රායලය විශේෂයෙන් එකඟ වී ඇත්තේ කුමන ආකාරයේ කොන්දේසිවලට ද යන කරුණ තවමත් නිශ්චිත වශයෙන් පැහැදිලි නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් ජනවාරි මාසයේ පැවති ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පෙර ගාසා තීරයේ ඇවිළී ගිය යුධ තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කරන ලද සටන් විරාමය ද ඇතුලු ව ඊශ්‍රායලය යුද්ධය අවසන් කිරීමට සූදානම් බවට ට්‍රම්ප් විසින් මින් පෙර සිදු කර ඇති ප්‍රකාශ ඉක්මනින් ම අසත්‍ය ප්‍රචාර බවට පත් වී ඇති අතර, ඊට හේතුව දෙපාර්ශ්වය ම සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳ වූ ගිවිසුම් උල්ලංඝනය කළ බවට අනෙක් පාර්ශ්වයට චෝදනා කිරීමයි.

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේ මැද පෙරදිග යහපත වෙනුවෙන් හමාස් සංවිධානය මෙම සාම ගිවිසුම පිළිගනී යැයි තමා බලාපොරොත්තු වන බවත්, එසේ නොවුණහොත් එය නරක අතට හැරී අයහපත් තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් ය.

මෙසේ සටන් විරාමයක් සඳහා “අවසාන යෝජනාවක්” පිළිබඳ කතාබහ පැමිණෙන්නේ පසුගිය සඳුදා ගාසා තීරයේ අල්-බකා කැෆේහි දී සිදු වූ බිහිසුණු ඊශ්‍රායල ප්‍රහාරයකින් පසුව ළමුන් ඇතුළු පලස්තීනුවන් 24 ත් 36 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය වටපිටාවකයි.

යුද්ධය අවසන් කිරීම සඳහා වන ඕනෑම ගිවිසුමක් යටතේ ගාසා තීරයේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව හමාස් සංවිධානය පවසා තිබෙන අතර, ඊශ්‍රායලය පවසන්නේ යුද්ධය අවසන් විය හැක්කේ හමාස් සංවිධානය මුළුමනින් ම නිරායුධ කර විසුරුවා හැරියහොත් පමණක් බවයි. කෙසේ නමුත් මේ වන විට දෙපාර්ශ්වය ම ඔවුන්ගේ දැඩි ස්ථාවර ලිහිල් කරගැනීමේ යම් නැඹුරුවක් පෙන්වන බවට ඉඟී පළ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරමින් කියා සිටිනවා.

කෙසේ නමුත් ට්‍රම්ප් ලබන සඳුදා ධවල මන්දිරයේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත අතර, ෆ්ලොරිඩාවේ සංචාරයක දී ට්‍රම්ප් වාර්තාකරුවන්ට පවසා තිබුණේ, ගාසා තීරයේ ඉක්මන් සටන් විරාමයක් සඳහා අවශ්‍යතාවය සම්බන්ධයෙන් නෙතන්යාහු සමඟ තමා ස්ථිර ලෙස ම සාකච්ඡා කරන බවයි. “එය සිදු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ලබන සතියේ දී ම එය සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් ඔහු වාර්තාකරුවන්ට පවසා ඇත්තේ  ප්‍රාණ ඇපකරුවන් නිදහස් වනු දැකීම තම ආශාව යැයි ද පවසමින්.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර මෙම යුද්ධයට දීර්ඝ කාලීන ඉතිහාසයක් පවතින අතර  එය මෑතක දී නැවත ආරම්භ වූයේ 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් නායකත්වයෙන් යුත් සටන්කාමීන් පිරිසක් දකුණු ඊශ්‍රායලයට පහර දීමත් සමඟයි. එහි දී පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගිය අතර,  ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් බවයි සඳහන් වුණ‍ේ. තව ද  ප්‍රාණ ඇපකරුවන් 251 දෙනෙකු ගාසා වෙත රැගෙන යාම ද මෙම ප්‍රහාරයත් සමඟව සිදුවීම නිසා ඊශ්‍රායලය මෙම යුද්ධයට පිවිසි බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඉන් අනතුරුව ඊශ්‍රායලයේ නොනවතින ප්‍රති ප්‍රහාර හමුවේ අහිංසක සිවිල් වැසියන් බහුතරයක් ඇතුළුව පලස්තීනුවන් 56,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, විශේෂඥයන්ට අනුව මෙම සංඛ්‍යාවට වඩා මරණ සිදුවී ඇති බව සඳහන් වනවා.  මෙම ප්‍රහාර හරහා මිලියන 2.3 ක් පමණ ජනතාව අවතැන් වී ඇති අතර, ගාසා තීරයේ භූමියෙන් වැඩි කොටසක් සුන්බුන් බවට ද පත් ව තිබෙනවා.

මිලේච්ඡ ලෙස ඊශ්‍රායලය විසින් ආහාර හා ඖෂධ ගැනීමට පැමිණෙන අහිංසක පලස්තීනුවන් මරා දමමින් සිදු කරන ජන සංහාරය රාජ්‍ය ත්‍රස්තවාදයේ බියකරු අඳුර නැවත වතාවක් ලෝකය හමුවේ පෙන වූ අතර, ඇමෙරිකාවේ ආශිර්වාදයෙන් සිදු කරගෙන යන මෙම වැඩපිළිවෙළවල් ලෝකය පුරා අප්‍රසාදයට පත් ව ඇති ආකාරය අපට දැකගත හැකි වනවා.

Author

Related Posts