මෙහි අසභ්‍ය වචන පැවසීම තහනම් ! – ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් පිටුව නිවේදනය කරයි.

ජිමුත් ඉඳුසර රත්නායක

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින්, එම ෆේස්බුක් පිටුවේ පළ කරන කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී සැම විට ම සභ්‍ය වචන භාවිතා කිරීමට කටයුතු කරන ලෙස සඳහන් කර තිබුණා.

ඒ අනුව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, “ඔබ දක්වනු ලබන අදහස් විවේචන ආදියට අප නිරතුරුව සවන් දෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර ඔබ අදහස් ප්‍රකාශ කිරීමේ දී සැම විට ම සභ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.” යනුවෙනු යි.

ඊට අමතරව “ඔබගේ අසභ්‍ය වචන භාවිතය මඟින් හානි වන්නේ ඔබේ ම චරිතයයි යනුවෙන් හා එසේ කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අකමැත්තෙන් වුව ද දැනුම් දෙන බව” ද එහි සඳහන් කර තිබුණා.

මෙම  පණිවිඩය ෆේස්බුක් සමාජ ජාලාව වෙත මුදාහැරීමෙන් අනතුරුව එහි කමෙන්ට් තීරුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොලිසියේ නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන සුවහසක් ෆේස්බුක් පරිශීලකයන්ගේ අදහස් භාර ගත නො හැකි ව හෝ වෙනත් කුමන හෝ කරුණක් මත මේ වන විට එම නිවේදනය සඳහා අසභ්‍ය ලෙස පමණක් නොව සභ්‍ය ලෙස ද කමෙන්ට් කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථාව අහුරා දමා තිබෙනවා.

කෙසේ නමුත් මෙම නිවේදනයේ කොතැනක හෝ එසේ භාවිතා කළ නො හැකි අසභ්‍ය වචන පිළිබඳ සඳහන් කර නෑ. එසේ අසභ්‍ය වචන යනු මේවා යැයි නම් කරමින් පනතක් ද ශ්‍රී ලංකාව තුළ සම්මත කර නැහැ.

එසේ නම් මේ අසභ්‍ය වචන ලෙස හඳුන්වන්නේ, සදාචාරාත්මක රාමුව තුළ අප විසින් පොදුවේ පිළිගන්නා හුත්ත, පක, පයිය, කැරියා, වේසි සහ පොන්නයා යන වචන ද ? එසේත් නැත්නම් “බැල්ලිගෙ පුතා” වැනි වචන ද ඊට අන්තර්ගතව ඇති ද යන්න නිවැරදි ව සඳහන් කරන්නේ නම් අපට ඉන් වැළකීම පහසු වන බව ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් කණ්ඩායම දැනුවත් කිරීම අපේ වගකීම නො වෙයි ද ?

වරක් පාර්ලිමේන්තුවේ දී “පකයා” යනුවෙන් පැවසූ වාසුදේව නානායක්කාර පැවසුවේ කුණුහරුපයක් නොවේ යනුවෙන් පවසමින් “පක” යනු ගෙඩියටැයි එකල බන්දුල ගුණවර්ධන පැවසූ අයුරු මතක ය. සම්භව්‍ය සිංහලට අනුව “පයිය” යනු ද පසුම්බියයි. “සුත්ත පිට” යනු සූත්‍ර පිටකයයි. එසේ නම් මේ ශ්‍රී ලංකා පොලිසිය විසින් පවසන අසභ්‍ය වචන මොනවා ද ?  පරිශීලකයන් ද අන්ද මන්ද වන මෙවැනි ප්‍රකාශ වගකිවයුතු රජයේ ආයතනයක් ලෙස මෙලෙස පල කිරීම කෙතරම් ප්‍රායෝගික ද ?

අපට මතු වන අනෙක් ප්‍රශ්නය නම් මෙහි සඳහන් අවශ්‍ය ක්‍රියාමාර්ග යනු මොනවා ද ? යන්නයි. අප දන්නා තරමින් අසභ්‍ය වචන යනු මොනවා ද යන්න පිළිබඳ කිසිඳු නීතිමය ලියැවිල්ලක් නොමැති හෙයින් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් නැත. එසේ නම් මේ ක්‍රියාමාර්ග යනු පාරේ ගමන් කරන අතරතුර  ගුටි දීම ද ? නැත්නම් කුණුහරුප කියන්න එපා කියමින් කනට ගැසීම ද ? නැත්නම් ෆේස්බුක් එක හරහා බ්ලොක් කිරීම ද ? ඒ සම්බන්ධයෙන් නිශ්චිත කිසිවක් ද අප දන්නේ නැත. ක්‍රියාමාර්ගය ගත් පසුව “ආ මේ අසභ්‍ය වචන භාවිතා කිරීම නිසා ගත් ක්‍රියාමාර්ගයක්” යැයි පැවසීම පොලිසිය විසින් සිදු කරනු ඇති දැ යි යන සැකය අපට මතු නො වන්නේ කෙසේ ද ?

කෙසේ නමුත් මෙම නිවේදනය හරහා පෙනී යන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් ඇඩ්මින් මඬුල්ල ෆේස්බුක් හි Moderation Alerts ආදිය සම්බන්ධව කිසිඳු දැනුවත් වීමක් නොමැති බවයි. මෙම තත්ත්වය ශෝකාන්තයක් වන්නේ අවුරුදු 15ක නව යොවුන් තරුණයෙකුට වුව ඉතා ම පහසුවෙන් වටහාගත හැකි මෙවැනි ප්‍රාථමික තාක්ෂණික කරුණු පවා නො දැන ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීම පිළිබඳ වන ඉතා ම වැදගත් ආයතනයක ෆේස්බුක් පිටුව සමඟ මෙම පිරිස කටයුතු කිරීමයි.

තව ද මීට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව විසින් රුක්ෂාන් ප්‍රියනාත් නම් තැනැත්තාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම,  බ්ලොක් කිරීමේ සිද්ධියක් මත පදනම්ව ඔහුගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් දැක්වීමේ හා පිළිතුරු දීමේ අයිතිය ඇතුලු අයිතිවාසිකම් කඩ වී ඇති බවට පැමිණිලි කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබුණා.

එම අවස්ථාවේ දී ඒ පිළිබඳව අදහස් දක්වමින් අනුරුද්ධ බණ්ඩාර වැනි ක්‍රියාකාරිකයන් සඳහන් කර තිබුණේ, සියලුම රාජ්‍ය ආයතනවලට ඩිජිටල් මාධ්‍ය වේදිකාවල ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පුළුල් මාර්ගෝපදේශ සහ නියෝග නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වන බවත්,  පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඩිජිටල් ක්ෂේත්‍රය තුළ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කිරීම අවධාරණය කිරීම සහ එවැනි මාර්ගෝපදේශ අත්තනෝමතික ලෙස අවහිර කිරීම හෝ වෙනස් කොට සැලකීම වැළැක්වීම සහතික කිරීමට කටයුතු කළ යුතු බවත් ය.

Author

Related Posts