ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට අවශ්‍ය කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ඒ අනුව එම සැලැස්ම දැන් හමාස් වෙත ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
ට්‍රම්ප් විසින් සිය Truth ගිණුමෙහි හි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
“දින 60ක සටන් විරාමයක් සඳහා අවශ්‍ය කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වී ඇති අතර, එම කාලය තුළ අපි යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන්නෙමු,”
“මැද පෙරදිග යහපත සඳහා, හමාස් මෙම ගනුදෙනුව භාර ගනී යැයි මම බලාපොරොත්තු වෙමි, එසේ නැත්නම් එය හොඳ අතට හැරෙන්නේ නැත – එය නරක අතට හැරෙනු ඇත.” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර ඇත.
එසේම ජූලි 7 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
ඊශ්‍රායලය සහ හමාස් අතර කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය මාර්තු මැද භාගයේදී අවසන් වූ අතර, ඇණහිට තිබූ එම සටන් විරාමය දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරන ලද හමාස් නිරායුධ කරන තුරු තම යුද්ධය අවසන් නොකරන බව ඊශ්‍රායලය අවධාරනය කර ඇති අතර, හමාස් ගාසාවෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.
ගැටුමේදී විනාශ වී ඇති ගාසා තීරයේ මිලියන 2 ක පදිංචිකරුවන් සාගතයේ අවදානමට ලක්ව ඇති බවට ආධාර ආයතන අනතුරු ඇඟවීමත් සමඟ යුද්ධය නැවැත්වීමට ජාත්‍යන්තර වශයෙන් එල්ල වන පීඩනය වර්ධනය වී තිබේ. හමාස් හි මිය ගිය පිරිස් පිළිබඳව තොරතුරු කළමනාකරණය කරන ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායල හමුදා ප්‍රහාර වලින් පලස්තීනුවන් 56,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
මැයි මාසයේදී නෙතන්යාහු විසින් සිය හමුදා මෙහෙයුම වේගවත් කළ අතර, සටන් විරාමයකට එකඟ වී, තවමත් තමන් සතුව සිටින ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙස හමාස් සංවිධානයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස සති කිහිපයක් එම ප්‍රදේශයේ ආධාර ලබා දීම තහනම් කළේය.
නැවත එය ආරම්භ කළද ඊශ්‍රායලය විසින් එය අර්බුධයකට යැවීය.
මැයි මාසය අග දී, ඊශ්‍රායලය පැවසුවේ ගාසා තීරය සඳහා එක්සත් ජනපදය ගෙන ආ දින 60 ක සටන් විරාම යෝජනාවක් පිළිගත් බවයි. එසේම එම යෝජනාව තුළ එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් ආහාර බෙදා හැරීම යථා තත්ත්වයට පත් කිරීම සහ හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ද ඇතුළත් වූ බවත්ය. කෙසේ වෙතත්, ඊශ්‍රායල් හමුදා ඉවත් වන බවට සහතිකයක් අවශ්‍ය බව හමාස් සංවිධානය විසින් ඉල්ලා තිබිණි.
එසේම ට්‍රම්ප් ඊශ්‍රායලය පිළිගත් බව පැවසූ කොන්දේසි පෙර සටන් විරාම යෝජනාවේ ඇති ඒවාට සමානද යන්න පැහැදිලි නැත.
