සෙලින්කෝ සමාගමට, සේවකයෙකුට ලක්ෂ 135 ක මුදලක් ගෙවන්න වෙලා

සෙලින්කෝ සමාගමට අයත් පෞද්ගලික ආයතනයක සේවය කළ ගණකාධිකාරිවරයෙකු අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව ගොණුකළ නඩුවක තීන්දුවට අනුව ඔහුට රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවන ලෙසට ශ්‍රේෂ්ධාධිකරණය නියෝග කර තිබෙනවා.

සෙලින්කෝ සමාගමට අයත් CCPD Limited ආයතනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කර තිබූ අදාළ පුද්ගලයා ලලිත් කොතලාවල මහතා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සෙලින්කෝ සමාගමේ අතිවූ අවිනිශ්චිත කාලය තුළදී එම ආයතනයෙන් ඉල්ලා අස්වීමට සූදානම්ව තිබෙනවා.

කෙසේවෙතත් ආයතන කළමණාකාරීතවය සිදු කළ ඉල්ලීමකින් අනතුරුව ඔහු යළි එම තනතුරේ කටයුතු කරමින් සිටින අතරතුර ලලිත් කොතලාවල මහතා යළිත් සෙලින්කෝ සමාගමේ පාලන අධිකාරියට සම්බන්ධවීමෙන් අනතුරුව මෙම පුද්ගලයා කිසිදු විනය පරීක්ෂණයකින් තොරව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

තමාව අසාධාරණ ලෙස වයෙන් ඉවත් කිරීමට එරෙහිව එම ගණකාධීකාරීවරයා කම්කරු විනිශ්චයාධිකාරය හමුවේ සෙලින්කෝ සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එම නඩු වීමසීම අවසානයේ රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක (රු. 13,500,000) වන්දියක් අදාළ ගණකාධිකාරීවරයා වෙත ගෙවන ලෙස කම්කරු විනිශ්චයාධිකාරය සෙලින්කෝ සමාගමට නියෝගකර තිබුණා.

කෙසේවෙතත්, සෙලින්කෝ සමාගම පසුව මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණය හමුවට අභියාචනයක් ඉදිරිපත් කළා.

අභියාචනය මඟින් සෙලින්කෝ සමාගම පෙන්වා දී තිබුණේ, අදාළ ගණකාධිකාරීවරයාට හිමි විය යුතු වන්දි මුදල කම්කරු විනිශ්චයාධිකාරය විසින් වැරදි ලෙස ගණනය කර අති බවයි.

කෙසේවෙතත්, අභියාචනය විභාගයට ගැනීමෙන් අවසානයේ මහාධිකරණය විසින් කම්කරු උසාවිය මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිවැරදි බවට තීරණය කර තිබුණා.

පසුව, සෙලින්කෝ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරමින් එම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලිමට පියවර ගෙන තිබෙනවා.

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ අභියාචනය විභාගයට ගැනුණු අතර එහිදී පෙත්සම්කාර පාර්ශවයට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණේ, අදාළ වන්දි මුදල ගණනය කර ඇති ආකාරය වැරදි නම් ඒ සඳහා විකල්ප වන්දි මුදලක් යෝජනා කළ යුතු බවයි.

කෙසේවෙතත්, නඩු විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබුණා.

Author

Related Posts