පසු ගිය කාලය පුරාවට දැඩි ලෙස කතාබහට ලක්වුණු,
දකුණු කොරියාවේ සෘතුමය රැකියා සදහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීම සදහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසයි.
පසුගිය කාලය පුරාවට අකර්මණ්‍ය වී තිබූ මේ ක්‍රියාවලිය කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඔහු පැවසුවා.
එම අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බවද ඔහු සඳහන් කරයි.
දැනට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, මේ මස 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළකරයි.
”ජුලි මස අවසන් වන විට E-8 වීසා කාණ්ඩය යටතේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එරට ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපි සූදානම්. මේ යටතේ වසරකට යැවිය හැකි උපරිම ශ්‍රමික සංඛ්‍යාව දකුනු කොරියාවේ සෘතුමය රැකියා රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනවා. රජයෙන් පමණයි බඳවාගැනිම් සිදුකරන්නේ. පෞද්ගලික අංශයට ඒ සඳහා බඳවාගැනිමට අවසර නැහැ ”.
මෙම රැකියා සම්බන්ධයෙන් විවිධ සමාජමාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
“මේ රැකියා සදහා මෙරට මෙන්ම දකුනු කොරියාවෙත් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. මෙම රැකියා ක්ෂේත්‍රය රජය විසින් අතහැර දමා ඇති බවත් මෙය ක්‍රියාත්මක නොකරන බවටත් ඔවුන් විසින් ප්‍රචාරය කරනවා. අපි වගකිමෙන් කියනවා මෙය නතර කර නැහැ.විදිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත කිරීමට පමණයි අපි තාවකාලිකව අත්හිටුව්වේ.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවබොධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අප එය නීත්‍යනුකූල කරනවා“
මෙම රැකියා සදහා පුද්ගලයන් බදවා ගැනීම සුදුසුකම් මත පමණක් විනිවිදභාවයෙන් සිදුකරන බවද කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. බදවාගැනීම් හා සියලු තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට කටයුකු කරනු ඇත.
E-8 වීසා පසුගිය කාලයේ දැඩි කතා බහට ලක් වුණා. එසේම හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව පරික්ෂණයක්ද පැවැත්විණි. මේ සම්බන්ධයෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද චෝදනා එල්ල වුනු අතර ඒවායේ ප්‍රගතිය ද කෝසල මහතාගෙන් දැනගත යුතුව ඇත.
E-8 යන වීසා කාණ්ඩය යටතේ රැකියා සඳහා පිටත් කර හැරීමට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිත්‍යානුකුල නොවන ගිසුමක් අත්සන් කරන ලදී. මිට අදාළව මේ සඳහා ලියකියවිලි බාර දුන් පිරිස් අවසනදී මහා පාරේ අරගල කරන තැනට මනුෂ පත් කරන ලදී.
E-8 යන වීසා ගිවිසුම හිටපු කම්කරු අමාත්‍යවරයා නීත්‍යනුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සි ආයතනයකට මේ වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බවත් එහිදී වාර්තා විය.
මීට අදාළව මනුෂට එරෙහිව පැමිණිල්ල කර තිබුණේද SLBFE සභාපති විසින්ය.
මේ පිළිබඳව කරුණු දන්වා මනුෂ විසින් විජිත හේරත්ට ලිපියක් ලියා තිබුණා. එහිදී මනුෂ කොරියානු රජයේ නීති තත්ත්වයන් ගලපමින් මෙය සිදු කළ බව ප්‍රකාශ කළ අතර නමුත් අවසානයේ ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව කොරියාවේ “වන්දෝ” හි ආණ්ඩුකාරයෙක් සමග මේ ගිවිසුම් අත්සන් කර ඇත.
එවකට පැවති විදේශ විනිමය ප්‍රශ්නයෙන් ගැලවීමට සහ ඉදිරියේදී මේ රැකියා ලංකාවට නොලැබෙයි කියා මනුෂට ඇති වූ බයට මෙලෙස කළා යයි මනුෂ පවසා තිබුණා. එසේම මනුෂ විජිත් හේරත්ට මේ පිළිබඳව දන්වා සහ තමා නිර්දෝෂී බව පැහැදිලි කිරීමට ලිපියක් ද යවා තිබුණා.
මෙහිදී කෝසල මහත්තයාගෙන් ඇසීමට කාරණයක් ඇත. එදා අනිතිකව යැවීමට වඩා කෝසල වික්‍රමසිංහ කිව්වේ මේ කෙටි කාලීන වීසා වල තවත් අර්බුධ ගණනාවක් පවතින බවයි. එහිදී ඔහු විශේෂයෙන්ම සඳහන් කළේ මෙලෙස කෙටිකාලීන වීසා මත ගිය පසු එම කාලය අවසන් වූ විට නැවත නොපැමිණීමට ඉඩ තිබෙන බවයි.
දැන් රජයෙන් වීසා නිකුත් කරලා බඳවාගෙන යැව්වම කෝසල වික්‍රමසිංහ කියූ අර්බුධ විසඳෙන ආකාරයද කිව යුතුය. මක් නිසාද යත් මනුෂගේ නීතියට පිටින් ගිය එක ඉතා ලොකු වැරැද්දක් වුවද අනික් කාරණා හරි යයි ජනතාවට සිතෙන්නට ඉඩ ඇත.
