අද (1) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වාර්ෂික 2.5%ක බස් ගාස්තු අඩු කිරීමට නියමිතව තිබුණද තවමත් එය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසීය.
ඇය සඳහන් කළේ බස් ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ, එම මිල වැඩිවීම ද බස් ගාස්තු සකස් කිරීමේදී සලකා බැලිය යුතු බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර සඳහන් කර සිටියේ ජූලි 1 සිට බස් ගාස්තු 2.5%කින් අඩු කරන බවයි. නමුත් මේ තීරණයට බස් සංගම් දැඩි විරෝධය පළ කළහ.
මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ යාමක් බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. කෙසේ වුවද මේ පිළිබඳව මගීන් පවසන්නේ ඉන්ධන මිල පහළ යද්දී බස් ගාස්තු ඊට සාපේක්ෂව අඩු නොකරන බස් සංගම්, පොඩි මිල ඉහළ යාමකදී වුවද බස්ගාස්තු ඉහල දැමීමට කෑ ගසන බවයි. මගීන් සූරා කන ගැමුණුලාගේ බස් හිමියන්ට එරෙහිව රජය විසින් පියවරක් ගත යුතු බවද ඔවුන් වැඩි දුරටත් පවසයි.
ඊයේ රාත්‍රියේ සිදු කළ ඉන්ධන මිල සංශෝධනය අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ ගොස් නව මිල රුපියල් 289 ලෙසද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ ගොස් නව මිල රුපියල් 305ක් ලෙසද, ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ ගොස් නව මිල රුපියල් 185 වශයෙන් ද මිළගණන් ඉහළ ගොස් ඇත. නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.
