බෝරා පල්ලිය අවට ප්‍රදේශ වීඩියෝ කළ ‘පොඩි සහරාන්’ අත්අඩංගුවට

පාස්කු ඉරිදා දින දේවස්ථාන කිහිපයක් හා හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ දී බෝම්බ පුපුරවා ගත් කණ්ඩායම විසින් එම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කිරීමට පෙර ලබා දුන් දිවුරුම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට යොමු කිරීමේ සිදුවීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන ඔස්සේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පසුව ඇප මත මුදා හැරි ෆෂ්රූල් රහ්මාන් මෙහොමඩ් සහරාන් හෙවත් පොඩි සහරාන් නමැත්තා “බෝරා” උත්සවය පැවැත්වෙන ස්ථානය අවට සිය ජංගම දුරකතනයෙන් පටිගත කරමින් සිටිය දී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි අද දිනමිණ පුවත්පත වාර්තා කරනවා.

වයස අවුරුදු 27 හැවිරිදි බම්බලපිටිය පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධිය හදාරන සිසුවකු වන මෙම සැකකරු පවසා ඇත්තේ බෝරා පල්ලියේ ධජය මීට පෙර දැක නොමැති බැවින් එය වීඩියෝ කළ බවයි.  එහෙත් බම්බලපිටිය පොලීසිය සඳහන් කර සිටියේ, බම්බලපිටිය දුම්රිය පොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි සැකකරු වීඩියෝ ගත කිරීම සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් එසේ සැක කටයුතු ලෙස එම ස්ථානය වීඩියෝ ගත කරමින් සිටිය දී පසුගිය 27 වන දා බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන, ඔහුගේ තොරතුරු පොලීසියේ දත්ත පද්ධතියට ඇතුළත් කරමින් සිදු කළ පරික්ෂාවේ දී මෙම සැකකරු පොඩි සහරාන් බව හෙළි වී තිබෙන බවත්, ඒ බව කොළඹ පොලිස් ප්‍රධානීන් විසින් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග මත සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් සඳහන් වනවා.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වන විට රඳවා ගැනීමේ නියෝගයක් ඔස්සේ සැකකරු රඳවා ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි.

මෙම සැකකරු සිය පදිංචි ප්‍රදේශය වන මහනුවර සිට කොළඹට පැමිණ, බෝරා සමුළුව පැවැත්වෙන බම්බලපිටිය බෝරා පල්ලිය පිහිටි ප්‍රදේශය සමුළුව පැවැත්වෙන කාලය තුළ දී වීඩියෝ ගත කිරීම සැකයට තුඩු දෙන්නක් බව උසස් පොලිස් නිලධාරියකු විසින් පවසා සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේ සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එම  වීඩියෝ  කිරීමට මුල් වූ කාරණා සම්බන්ධයෙන් සාධාරණ හේතුවක් පැවසීමට ඔහු සමත් ව නොමැති බවයි.

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු “සොනික් සොනික්” ලෙස ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ආන්දෝලනාත්මක අයුරින් අදහස් හුවමාරු කර ගෙන තිබුණේ මෙම පොඩි සහරාන් නමැති සැකකරු සමඟ වන බව ද විමර්ශනවලින් හෙළි වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පුද්ගලයා අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධව සිටි බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් එකල හෙළි කර ගෙන තිබූ බව කියැවුණු අතර, කටාර් රාජ්‍යයේ කලක් සිටි ඔහු මෙරටට පැමිණ තිබුණේ පාස්කු ප්‍රහාර මාලාව සිදුවීමට කෙටි කලකට පෙර බව එහි දී අනාවරණය වී තිබුණා. ජනාධිපති කොමිෂන් සභාවේ දී ද මේ පිළිබඳ ව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට භාජනය කර තිබුණා.

Author

Related Posts