කාම්බෝජයේ හිටපු නායකයෙකු සමඟ සිදු කළ දුරකථන ඇමතුමක හඬ පටයක් සම්බන්ධයෙන් තායිලන්ත අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා විරෝධතාකරුවන් දහස් ගණනක් බැංකොක් නුවරට රැස්ව සිටිති.
මැයි මාසයේදී කාම්බෝජ සොල්දාදුවෙකු වෙඩි හුවමාරුවකදී මිය යාමත් සමඟ ඇති වූ, අසල්වැසි කාම්බෝජය සමඟ දේශසීමා ගැටළුවක් හැසිරවීම සම්බන්ධයෙන් පේටොංටාර්න් ෂිනවත්‍රා මෙලෙස චෝදනාවට ලක්ව ඇත. ඊට අදාලව මේ මස මුලදී කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ මේ කාරණය සාකච්ඡා කරන ඇයගේ දුරකථන ඇමතුමක හඬ පටයක් ප්‍රසිද්ධියට වීමෙන් පසු ඇගේ රජය කෙරෙහි දැඩි මහජන අප්‍රසාදයක් මතුව ඇත.
හඬ පටයේ, ජ්‍යෙෂ්ඨ තායි හමුදා නිලධාරියෙකු විවේචනය කරන ඇය, හුන් සෙන් ට “මාමා” ලෙස අමතන ආකාරය සහ ඔහුට අවශ්‍ය දෙයක් තිබේ නම් ඇය “ඒක බලාගන්නම්” බවට පොරොන්දු වන බව විදෙස් මාධ්‍ය පවසයි. හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ශිනොවත්‍රාගේ දීර්ග කාලින සතුරෙකු ලෙස සැලකෙන කාම්බෝජ හිටපු අගමැති සමග පක්ෂපාතිව කටයුතු කිරීමට මීට ප්‍රධාන හේතුවක් වී ඇත.
ඊයේ (28) බැංකොක් නගරයට රැස්වූ විරෝධතාකරුවන් තායි කොඩි ඔසවමින් අගමැතිනියගේ අන්වර්ථ නාමය භාවිතා කරමින් “උං ඉන්ග්, ඉවත්වනු!” යනුවෙන් සටන් පාඨ කියා ඇත. සමහරු ඇය ජාතිය පාවා දුන් බවට චෝදනා කරමින් “ද්‍රෝහී අගමැති” ” අගමැති කම විකුණුවා” යනුවෙන් පුවරු අල්ලාගෙන සිටියහ.
පොලිසිය ප්‍රකාශ කළ ඇස්තමේන්තුව අනුව දහවල් වන විට 6,000 ක් පමණ පිරිස රැස්ව ඇති අතර සෙනසුරාදා සවස් වන පිරිස 10,000 ඉක්මවා ඇත.
“අපගේ ජාතික සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට, අපගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ රට නිවැරදි කිරීමට අපි ස්වභාවධර්මයේ බලයෙන් මෙහි එක්සත් වී සිටිමු. මෙම රට ආරක්ෂා කිරීමට සහ තායිලන්ත රාජධානියට සාමය සහ සමෘද්ධිය ගෙන ඒමට අපගේ හැකියාවන් තුළ අපි සියල්ල කරන්නෙමු.” යනුවෙන් විරෝධතා කරුවන් පවසා ඇත.
විරෝධතාවයට එක්රැස් වූ බොහෝ දෙනෙක්, 2006 කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලද පේටොංටාර්න්ගේ පියා වන තක්ෂින් ෂිනවත්‍රාට සහ 2014 දී අධිකරණ තීන්දුවකින් පසුව කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලද ඇගේ නැන්දා වන යින්ලක්ට එරෙහිව මීට පෙර පෙළ ගැසුණු ව්‍යාපාර සමඟ සම්බන්ධ වී සිටිති.
විරෝධතාවයේ සංවිධායක, ජාතිකවාදී ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් එක්සත් ෆෝර්ස් ඔෆ් ද ලෑන්ඩ්, සියලුම පක්ෂ පේටොංටාර්න්ගේ සන්ධානයෙන් ඉවත් වන ලෙස ඉල්ලා තිබේ. ලීක් වූ දුරකථන ඇමතුම උපුටා දක්වමින් මෙම මස මුලදී සන්ධාන හවුල්කරුවෙකු ඉවත් වූ අතර, ඇයට ඇත්තේ ඉතා සුළු බහුතරයක් පමණි.
ලීක් වූ ඇමතුම සම්බන්ධයෙන් සදාචාරාත්මක උල්ලංඝනය කිරීම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා කරමින් පෙත්සම් ගොනු කිරීමෙන් පසු පේටොංටාර්න් නීතිය ඉදිරියේද අභියෝගයට ලක්ව ඇත.
ඇයව ධූරයෙන් පහ කිරීමට ඉල්ලා සිටින නඩුවක් පිළිගන්නේද යන්න තීරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අඟහරුවාදා රැස්වන අතර, එම කාරණය සලකා බලන අතරතුර ඇයව ධූරයෙන් අත්හිටුවිය හැකි අතර අවසාන තීන්දුවට මාස කිහිපයක් ගතවනු ඇත. පේටොංටාර්න් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් සමාව අයැද ඇති, නමුත් එය ඇයට විවේචන සහ විරෝධතා නැවැත්වීමට තරම් ප්‍රබල හා ප්‍රමාණවත් වී නොමැත.
