මා දන්නා නොදන්නා ගණනාවක්ම ඊයේ සන්ධ්‍යාවෙහි මා ඇමතුවෝය. ඒ සති අග පුවත්පතක පලවූ සම්මුඛ සාකච්ඡාවක් කියවූ පසුවය. ගිය සතියේ දිනෙක මා හා කරන ලද සාකච්ඡාවක් එසේ පලව තිබූ අතර මට ඒ පුවත්පත කියවන්නට ඒ වන විට අවස්ථාව ලැබී තිබුණේ නැත.
මෙසේ ලද ඇමතුම් අතරින් එකක් වයඹ සරසවියෙහි මහාචාර්ය චන්දන අබේසිංහ ගෙනි. ඒ ඇමතුම මගේ අතීත මතකයන් ඇවිස්සූ සේම දිවි ඇති තුරා නොනිමෙන තියුණු වේදනාවක් යළි මතු කළේය. ඒ ඉතා සොඳුරු මතකයන්ද සමගිනි.
අසූනවයේ සිට අනූ තුන දක්වා මගේ ජීවිතය ගෙවුනේ ලුහුබඳිනු ලැබීම්, පැහැර ගැනීම්, වධ බන්ධනයන් මෙන්ම ජීවිතය කෙරේ පැවති අවිශ්වාසයද සමගිනි. භීෂණ සමය හමාර යයි පැවසුනද අනූවේ මධ්‍ය භාගයේ සිට තත්වය පැවතුනේ එලෙසින්මය. තරුණයන් පැහැර ගැනීම් සහ ඝාතනයන් නොනැවතී කෙරෙමින් පැවතිණි. ජපුර සරසවිය බලා එමින් සිටි මා මා කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට ග්ලාස් හවුස් අසලදී ප්‍රසිද්ධියේ අවි පෙන්වා පැහැර ගන්නා ලද්දේ මේ අතරය. එය වධ බන්ධන මෙන්ම දිගු රැඳවුම් සමයකද ආරම්භය විණි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ රඳවන ලද මගේ ජීවිතය අන් බොහෝ සහෝදරවරුන්ගේ මෙන්ම අවිනිශ්චිත වෙද්දී මට එරෙහිව නඩු දෙකක් ද සූදානම් කරනු ලැබිණි. ඉන් එකක හෝ වරදකරු විණි නම් මගේ අවම සිර දඬුවම් කාලය වසර පහලොවකි. ඒ ජීවිතයේ අසීරුතම සමයකි. මිතුරු වෙසින් සිටි බොහෝ අය ඈත්ව යද්දී සීමිත පිරිසක් මා අත නොහැර මා සමගම සිටියෝය. තවත් පිරිසක් මා මෙන්ම දිවි රැකගැනීමට අරතලයකය. කමල් හෙවත් සෙනෙවි ඇතුළු පිරිසක් යළි ජවිපේ ගොඩනැගීමේ සටනෙහිය. මගේ පියා සමග එකට හිඳිමින් එවක මගේ පෙම්වතිය (අද මගේ බිරිඳ) මා බේරා ගැනීමේ අරගලයෙහිය.
මම ඒ අතර හයවෙනි මහල නම් අප්‍රකට රැඳවුම් කඳවුර මෙන්ම වධකාගාරය ලෙසද ක්‍රියාත්මක අඳුරු කුටියෙකය. කෙතරම් කටුක වුවද මගේ ජීවිතයෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් වූවේද එහිමය. ඒ සාහිත්‍ය පරිවර්තකයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙසද මගේ පළමු උත්සාහයන් දියත්වූවේ එහිදී බැවිනි. පරිවර්තන කාරියේලා මට තිබූ බරපතලම අඩුවක් වූවේ මලලසේකර ශබ්දකෝෂයකි. රතු කුරුස සංවිධානය හරහා පොත් ගෙන්වාගෙන අප ඒ වන විට එහි සිංහල දෙමල සහ ඉංග්‍රීසි පොත් සහිතව කුඩා පුස්තකාලෙයක් පවත්වා ගත්තද එහි සම්පත් සීමිත විණි. එහෙයින් මම මගේ පියා හට ශබ්ද කෝෂයක අවශ්‍යතාව විසිට් දිනෙක පවසා සිටියෙමි. ඒ වන විට ඔහු සිටියේ එවැන්නකට මුදල් වියදම් කරනු තබා මා බලන්නට ඒමට පවා නොහැකි තරම් අර්බුද රැසකය. ඔහු සමග සිටිමින් ඒ අසීරුතම සමයේ පියාගේ අතමිට පවා බලා ගනිමින් මා වෙනුවෙන් කැපවූ කිහිප දෙනකුම සිටි බවද මෙහිලා සිහිපත් කළ යුතුය.
අපට අපේ හිතවතුන් ළබැඳියන් හමුවීමට අවසර ලැබෙනා එක් සෙනසුරාදාවක මගේ පියා මට මලලසේකර ශබ්දකෝෂයක් ගෙනැවිත් දුන්නේය. චන්දන සොහොයුරා සම්බන්ධ වන්නේ එහිදීය.
‘මචං උඹ ඇතුලෙ හිටපු දවස් වල උඹේ තාත්තා නිතරම මාව මුණගැහෙන්න අපේ ගෙදර එනවා. එක දවසක් තාත්තා එහෙම ඇවිත් මගෙන් දෙයක් ඉල්ලුවා. -පුතේ පුළුවන් නම් මට මලලසේකර ඩික්ෂනරියක් හොයලා දෙන්න. කොල්ලා එකක් ඉල්ලනවා.- මගෙ අතෙත් ඒ වෙලාවෙ සල්ලි නෑ. අපිත් එතකොට රස්සාවට ගිහින් නෑ. හැබැයි මගෙ ලඟ මලලසේකරයක් තිබ්බා. මං ඒකෙ මගෙ නම ගහලා තිබ්බ කොලේ ඉරලා තාත්තාට ඒක දුන්නා. අද උඹ කරන වැඩ දැක්කහම මට හරිම සතුටුයි මචං.
චන්දන අද වයඹ සරසවියෙහි කෘෂි විද්‍යා පීඨයෙහි මහාචාර්යවරයෙකි. අප අදද එදා මෙන්ම මිතුරන්ය. ඒ භීම සමයෙහි චන්දනගේ නිවෙස අපේ සිසු කමිටුවල එක් මධ්‍යස්ථානයකි. ජවිපේසාමාජිකයන්වූ අපට රැකවරණ දීම මරණ වරෙන්තුව බව දැන දැනම වුව චන්දන අප බොහෝ දෙනකුට පිහිට වූවේය. එසේම සරසවි සිසු අරගලවලදී අප සමග එකතුවූවේය.
මගේ ජීවිතයේ අසීරුතම සමයෙහි මෙසේ මා හා රැඳුන මිතුරන්ට මා සදා ණයගැතිය. අපේක්ෂාවක නූල් පොටක් පවා නොපෙනුන ඒ සමයෙහි අනාගතය දෙස බලන්නට ශක්තිය දුන්නෝ ඔවුහුය. පරාජය යනුම යළි ඇරඹුමක සන්ධිස්ථානය බවත්, එක් පෙරමුණක් අහිමි වන විට තවත් පෙරමුණු ගණනාවක දොර හැරෙන බවත් මට අමතක කරන්නට නොදුන්නෝ ඔවුහුය. ඉදින් මේ වදන් කිහිපය චන්දන ඇතුළු ඒ සගයන්ටය.
මගේ පියා ගැන ලියන්නට ඇවැසි වදන් තවමත් මා සතුව නැත. මගේ ගමන දෙස නිහඬවම බලා සිටි, තිසි දිනෙක මට කිසිම දෙයක් එපා යයි නොකී. සත්‍යය වෙනුවෙන් සටන් කිරීම අභිමානයකැයි මට පවසා, ඒ වෙනුවෙන් අතිශය දුක්බර මෙන්ම බිහිසුනු අත්දැකීම් වලට පියෙකු ලෙස මුහුණ දෙද්දීත් අවම තරමින් දෝෂාරෝපණයක බැල්මක් හෝ මවෙත නොහෙලූ ඔහු මගේ ජීවිතයේ පරමාදර්ශී චරිත කිහිපය අතරින්ද ඉදිරියෙන්ම සිටින්නෙකි. මගේ පෙම්වතියද එ සමයෙහි සිය ජීවිතය අන.තුරේ හෙලමින් නොසැලී මා සමග සිටියාය. ඇයට ඊට වන්දි ගෙයවන්නට සිදුවූවේ සිය රැකියාවෙනි. ආණ්ඩු විරෝධියකු හා විවාහ වීමේ වරදට තමන් රැකියාවෙන් නෙරපූ බව හැඬු කඳුළින් මා හා පවසන විට අපේ පුත්‍රයා ඇගේ කුසෙහිය.
ඉදින් චන්දනගේ මතක පැස ලෙහද්දී මේ සියල්ල යළි ම සිතේ ඇඳී ගියේය. ජීවිතය, ඔව් එය අපෙන් බොහෝ දේ උදුරා/ත් බව සැබැවි. එහෙත් එය ඒ සමගම අපට තවත් බොහෝ නව මං ද විවර කළෙහිය. ඒ සියල්ල මධ්‍යෙය් එය අපට අපූර්වතම මිනිසුන්ගේ ඇසුරද ඉතිරි කළේය. එදා චන්දන එවූ ශබ්දකෝෂයද මගේ පසුගමනට දිරියක්ම විණි. අද මා අතින් පරිවර්තනය වන සෑම කතෘතියක් ගානේම චන්දනටද ගෞරවය හිමිවිය යුතුය.
වැටෙන විට යළි නැගෙන්නට මෙන්ම වැල යන අතට මැස්ස නොගසා සිය අරමුණෙහිම රැඳෙන්නටද මට දිරිය දුන් මිනිසුන් සිහි කරන්නට චන්දන විසින් මට යළි අවස්ථාවක් ලබා දුන්නේය. සකියනි, අඳුර යයි දෙයක් නැත. අඳුර පවතිනුයේ අප ආලෝකය ගැන විශ්වාසය නොතබන විටය. අප අඳුර බාරගත යුත්තේම ආලෝකය දිනනා සටන වෙනුවෙනි. ඉදිරි මග කෙටි බව දනිමි. එහෙත් ඒ කෙටි මගද ආලොකය සොයා යන ගමන වෙනුවෙන්මය.
යළිදු කියමි, මගේ ජීවිතයට ඒ අසීරු සමයේ සවියක් වූ නුඹලා සියළු දෙනාට මා ණයගැතිය. ඒ ණය ගෙවිය හැක්කේ නොසැලී ආලෝකය වෙනුවෙන් වැඩ කිරීමෙන්ම පමණි. මම එය දනිමි. අමතක නොකරමි.
