ඔබත් කලු සල්ලි සුදු කිරීමේ අපරාධ වලට සම්බන්ධ වෙලාද? හරියටම දැනගන්න…

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ වූ අපරාධයන්ට ශ්‍රී ලාංකික පුරවැසියන් වින්දිතයන් වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි. මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් ඊයේ (27) දින නිවේදනයක් නිකුත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, We chat ආදී සමාජ මාධ්‍ය ජාලා කරගනිමින් සිදු කරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සදහා ප්‍රධාන ක්‍රම වේද දෙකක් භාවිතා කරනු ලබයි.
එහිදී පලමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පලකර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරනු ලබයි. පලමු පියවර ලෙස මෙම අයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම් දී එම සුළු මුදල සදහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කල මුදලට එකතු කර ලබාදීම සිදු කරනු ලබයි. මෙවැනි පියවරයන් කිහිපයකදී ආයෝජකයාට ප්‍රතිලාභ ප්‍රමාණ වැඩි කරමින් ලබාදෙනු ලබයි. එහිදී මෙම පුද්ලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවස්ථා ඇති බව සදහන් කරමින් විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලබයි. මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකු වල ඇති ගිණුම් වලට වේ.

ඒ අනුව වැඩි මුදල් ප්‍රමාණයන් අවස්ථාවන් කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කලද ඒ සඳහා ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදීම සිදු කරයි. මෙම ආයෝජකයන් ප්‍රතිලාභයන් ලබා නොදීම සම්බන්ධයෙන් අපරාධකරුවන්ගෙන් අදාල සමාජ ජාලා ඔස්සේ වීමසීමේදී එම අපරාධකරුවන් දන්වා සිටින්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාස්තු වැනි ගාස්තු ගෙවිය යුතු බවත් ඒ සදහා ද අමතර මුදල් යෙදවුවහොත් ප්‍රතිලාභය ලබා දිය හැකි බවයි. ඒ අනුව තව තවත් මුදල් ප්‍රමාණ ආයෝජනය කරන ලෙසට දැනුම් දෙනු ලබයි.

දෙවැනි ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පලකර ඒ සදහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම් වලට බැර වන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙතහුවමාරු කරන ලෙසත් ඒ සදහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලබයි. මෙම ක්‍රම වේදය ඔස්සේ ඉහත විස්තර කරන ලද පලමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිතා කරමින් වෙනත් ගිණුම්වලට සංසරණය සිදු කරන බවට විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව මේ සදහා ගොදුරු වන පුද්ගලයින් නොදැනුවත්වම කලු සල්ලි සුදු කිරීමේ මූල්‍ය වංචාවට හා අපරාධයකට ආධාර අනුබල දීමේ වරදට හසුවේ.

මෙම අපරාධයන් සිදු කරනු ලබන අපරාධකරුවන් මෙරට හෝ විදේශ රටවල සිටිමින් නවීන තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතා කර සිදු කරනු ලබන බවට වැඩි දුරටත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

Facebook, Whatsapp, Telegram, Skype, We chat යන සමාජ මාධ්‍ය ජාලා වලින් සිදු කරනු ලබන අපරාධයන් පිළිබද තොරතුරු ලබා ගැනීමට විමර්ශකයන්ට ක්ෂණිකව නොහැකි වීම මත මෙම අපරාධකරුවන් අපරාධයන් සිදු කර නීතියේ රැහැනෙන් ගැලවී යන බවට නිරීක්ෂණය වේ. එබැවින් මෙවැනි අපරාධයන් වළක්වා ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් කිරීම ප්‍රධාන අවශ්‍යතාවයක් බවට විමර්ශන නිලධාරීන් හදුනාගෙන ඇත.

එබැවින් විද්‍යත් හා මුද්‍රිත මාධ්‍යන් හා Facebook, Whatsapp, Telegram, Skype, We chat යන සමාජ ජාලා මගින් විවිධ පුද්ගලයන් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙනු ලබන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට ලබා දෙන අන්තර්ජාල දිගු (Link), නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසත්, තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහදුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවැනි පාර්ශව වල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබාදෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීම සිදු නොකරන ලෙසත් ඒ අනුව මෙම අපරාධයන් පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබාදීම තුලින් ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading