ස්ටාර්ලින්ක් ආයතනයේ සැටලයිට් අන්තර්ජාල සේවාව සතියක කාලයක් පාරිභෝගිකයන් 12 දෙනෙකුට ලබා දීමට නියමිත බවත්, එය අධීක්ෂණයෙන් පසු පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් බන්දුල හේරත් පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපර්තිමේන්තුවේදී එසේ අදහස් පළ කළ ඔහු, වැඩිදුරටත් මෙසේ කීය.
‘ස්ටාර්ලික් ආයතනය හරහා සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා පහසුකම ලබා දීමට විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව විසින් 2024 ජුනි මාසයේදී බලපත්‍ර නිකුත් කළා. 2024 සැප්තැම්බර් මාසයේදී ඒ සඳහා ප්‍රධාන අය ක්‍රම පහක් සඳහා අනුමැතිය ලබා දුන්නා. පසුගිය මාස කිහිපය තුළදී අප ආයතනය සහ ස්ටාර්ලින්ක් ආයතනය සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. ඒ තමයි තාක්ෂණික, ආරක්ෂක, බදු ක්‍රමය සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා ක්‍රමවේදය සකස් කිරීම. ඒ සඳහා මූලික කරුණු සියල්ල මේ වන විට හමාරයි. ස්ටාර්ලින්ක් ආයතනය සැටලයිට් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 12ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒවා පාරිභෝගිකයන්ට බෙදා හරිමින් තිබෙනවා. මේ සතිය අවසානයේදී ඒ කට්ටල් 12 බෙදාහැරීමෙන් පසුව දන්වන බව කීවා. මේ සතියේදී පළමු පාරිභෝගිකයන් 12 දෙනා වෙත සේවාව ලබාදීම අධීක්ෂණය කිරීම අප ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරනවා. එහිදී තාක්ෂණිත, ආරක්ෂක වශයෙන් මෙම සේවාව හරියට ලබාදෙනවාද කියලා පරීක්ෂා කරනවා. එයින් පසු පාරිභෝගිකයන්ට සේවාව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා.‘
කෙසේ වෙතත්, උත්සවක් අවසන්ව අදහස් දක්වමින් ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න මෙම පුවතට ආසන්න පුවතක් ප්‍රකාශ කළ අතර, ඔහු ඇතැම් කරුණු ප්‍රකාශ කළේ විදුලි සංදේශ නියාමන කොමිසමට වඩා වෙනස්වය.
“ස්ටාර්ලින්ක් සැටලයිට් එකේ සියලු පහසුකම් රෙගුලාසි අපි ලබා දීලා තියෙන්නේ. දැනට ඩිවයිසස් 10ක් ඒ කියන්නේ ස්ටාර්ලින්ක් ඩිවයිසස් දහයක් අරගෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට කස්ටමස්ල 10 ක් අතර ලබාදීල තියෙන්නෙ. ඒකෙන් පස්සේ ඩැඩ්බෝඩ් එකක් පෙන්වන්න අවශ්‍යයි.මේ මාසේ අන්තිම වෙද්දි ස්ටාර්ලින් සේවාව මුලු රටටම දෙන්න පුලුවන් විදියට ඒ කට්ටිය කටයුතු කරයි. ස්ටාර්ලින්ක් සේවාව කියන්නෙ සැටලයිට් හරහා එන සේවාවක්.”
සරලව පැවසුවහොත්, ස්ටාර්ලින්ක් විසින් රේඩියෝ තරංග හරහා අන්තර්ජාල දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි. ෆයිබර් ඔප්ටික් කේබල් වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට යොමු විය හැක.
ඇමෙරිකාවේ ස්ථාපිත එලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60 ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කළේය.
තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී.
