ජිමුත් ඉඳුසර රත්නායක
ඇමෙරිකානු ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයෙකු වන 33 හැවිරිදි සොහ්රාන් මම්දානි, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරියේ දී පැවැත්වෙන නගරාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.
ඒ ඔහු නියෝජනය කළ ඩිමොක්රටික් පක්ෂයෙන් පැවති මූලික ඡන්ද සටනින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහු විසින් එම මූලික ඡන්ද සටනේ දී පරාජය කරනු ලැබුවේ 2021 දී ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනාවලින් අනතුරුව එම තනතුරෙන් ඉල්ලා අස් වූ හිටපු ආණ්ඩුකාර ඇන්ඩෲ කුවෝමෝ වීම විශේෂත්වයක් වූ අතර ඊටත් වඩා ලෝකය පුරා අවධානය ඔහු වෙත යොමුවීමට හේතු පාදක වූයේ ඔහු විසින් තමන් සමාජවාදී යැයි ප්‍රකාශ කර තිබීම හා තමා පලස්තීනයේ ආධාරකරුවෙක් බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබීම නිසයි.
ඊශ්‍රායලයේ ටෙල් අවිව් වලින් පිටත විශාලතම යුදෙව් ජනගහනය සිටින නිව්යෝර්ක් නගරයේ නගරාධිපති තනතුර සඳහා තරගවදින ඔහු පලස්තීනය විසින් සිදු කරනු ලබන අරගලය අභිමානය සඳහා වන අරගලයක් ලෙස ඔහු වරෙක පවසා තිබූ අතර, රැඩිකල් ආර්ථික ප්රතිපත්තිවලින් ද යුතු ඔහු ධනපතියන්ගේ මුදල් සමාජ සුබසාධනය සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවත්, විශාල සමාගම් විසින් තම පාලනයක් යටතේ සාධාරණ ලෙස බදු ගෙවිය යුතු බව තරයේ ප්‍රකාශ කර සිටිනවා.
නිව්යෝර්ක්හි පළමු මුස්ලිම් හා ඉන්දියන් සම්භවයක් සහිත ඇමෙරිකානු නගරාධිපති වීමට නියමිත සොහ්රාන් මම්දානි, මාධ්‍යවේදී මෙහ්ඩි හසන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවසා සිටියේ, නිව්යෝර්ක් නගරයට පැමිණියහොත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවත්, තමා ජාත්‍යන්තර නීතියට ගරු කරන බවත් ය.
කෙසේ නමුත් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂිකා මීරා නායර් ගේ හා විද්‍යාර්ථයෙකු, කතුවරයෙකු මෙන් ම දේශපාලන විචාරකයෙකු වූ මහමූද් මම්දානි ගේ එකම පුතණුවන් වන සොහ්රාන්ගේ මෙම පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරා සිය දැඩි අප්‍රසාදය පිළිකුල් සහගත ලෙස තම X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.
ඔහුගේ ප්‍රතිපත්ති යෝජනාවලිය අතර,
- නගරය පුරා නොමිලේ බස් සේවාවන් ක්‍රියාත්මක කිරීම.
- දැරිය හැකි සාධාරණ මිල ගණන් සහිත සිල්ලර වෙළඳසැල් දාමයක් නගරය තුළ ස්ථාපිත කිරීම.
- සති හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා විශ්වීය ළමාරක්ෂක සේවාවක් ක්‍රියාත්මක කිරීම.
- වෘත්තීය සමිති විසින් ඉදි කරන ලද කුලී හා ස්ථාවර නිවාස නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි කිරීම
ආදී ව්‍යාපෘති ගණනාවක් ඇතුළත් වන බව ඇමෙරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
මෙම තේරී පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු සෙනට් සභික, කීර්තිමත් දේශපාලඥයෙකු වන බර්නි සෑන්ඩර්ස් කියා සිටියේ, ඩිමොක්රටික් පක්ෂය සොහ්රාන් මම්දානිගේ මෙම ජයග්රහණයෙන් පාඩමක් ඉගෙනගත යුතු බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සෑන්ඩර්ස් පවසා සිටියේ “මම්දානිගේ ජයග්‍රහණය හුදෙක් විලාසිතාවක හෝ ඔහු ආකර්ශනීය අපේක්ෂකයෙකු වීම නිසා පමණක් බව සමහරු කින්න පුළුවන්. ඔව් ඔහු ආකාර්ෂණීය පුද්ගලයෙක් තමයි. නමුත් ඔහු වටා රොක් වූ අසාමාන්‍ය බිම් මට්ටමේ මිනිසුන් වැනි එකතුවක් නොමැතිව ඔබට කවදාවත් මම්දානි වගේ ජයග්‍රහණයක් ලබාගන්න බැහැ. වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා ගැන කතා කරන ආර්ථික න්‍යාය පත්‍රයක් ඔබට නැත්නම් උද්යෝගිමත් ජනතාව දහස් ගණනින් ඇවිත් ඔබේ දොරට තට්ටු කරන්නේ නැහැ.” යනුවෙනු යි.
