ජිමුත් ඉඳුසර රත්නායක
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඊයේ (25) එම කමිටුව රැස් වූ අවස්ථාවේ දී සැකකරුවන් තිදෙනෙකු ට දිවුරුමේ දී බොරු සාක්ෂි නො දෙන්නැයි තරයේ අවවාද කර සිටියා.
මෙසේ අවවාද කළේ, කමිටුව ඉදිරියේ සාක්ෂි දීම සඳහා පැමිණි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්යක්ෂ නෙවිල් සිල්වා, කොළඹ දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් ජ්‍යේෂ්ඨ කළමනාකරු තනේෂ් ඩයස් යන අය සඳහා යි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කර ඇතැයි කියන විෂමාචාර සඳහා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම විමර්ශනය කර වාර්තා කිරීමට පත් කෙරුණු මෙම පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා විසින් ඉහත සඳහන් අයවලුන් සඳහා මෙසේ දැඩි ලෙස අවවාද කළේ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්යක්ෂවරයා තමා විසින් මුලින් ප්‍රකාශ කළ කරුණු කිහිපයක් ඉල්ලා අස් කර ගන්නේයැයි පවසා සිටි අවස්ථාවක ය.
එම සිද්ධිය මෙසේ යි.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
ඔබ මෙතනට ආවේ වැරදි සාක්ෂි දෙන්න ද ? කියපු දේවල් ඉල්ලා අස් කර ගන්නවා නම් මොකට ද මෙතනට ආවේ ? මම දන්නවා ඔබට වඩා. මම මේ සිද්ධිය අකුරක් නෑර කියවල යි මෙතනට ආවේ. බොරුවක් කිව්වොත් අල්ලන එක අල්ලනවා ම යි. ඒකටයි අපි මෙතන ඉන්නේ.
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
මම කිව්ව ඇතැම් දේවල් ඉල්ලා අස් කර ගන්නවා.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
ජංගම පොලිස් රථයකින් ඇවිත් හේතුවක් නැතුව වෙඩි තියනවා ද ?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
හේතුවක් නැතිව වෙඩි තියන්නේ නෑ ස්වාමීනී.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
සමාවෙන්න මෙහෙම කියනවාට, ඔබතුමා සාක්ෂි දෙනවිට එක ස්ථාවරයක් ගන්නේ නැහැනේ. මැරුණ මිනිහාට හැම දෙයක්ම දාන්න එපා. ඒක ඔහුට කරන අසාධාරණයක්. ඔබ 2023.12.31 දින කීයට විතර කොළඹ ආවද?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
ස්වාමීනි 8.30ට වගේ. මම නෝට්ස් වගයක් ලිව්වා. සත්‍ය සිදුවීම තමයි.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
පොඩ්ඩක් ඉන්න. මොකද්ද සත්‍ය සිද්ධිය? ඒ කියන්නේ සත්‍ය සිද්ධිය දන්නවා ද ?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
නෑ නෑ ස්වාමීනි, දන්නේ නැහැ.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
මේ කරලා තියෙන්නේ හරි දෙයක්ද? වැරදි දෙයක්ද කියලා පොලිස්පති උපදෙස් දුන්නාද?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
එහෙම උපදෙස් ලබාදීමක් සිදුවුණේ නැහැ.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා
ඇනස්ලන් ද සිල්වා ස්වෙච්ඡාවෙන් මෙම මෙහෙයුමට ගියා කිව්වානේ. ඔහු කායික වශයෙන් දුර්වල කෙනෙක් කියලා ඔබ හිතනවාද?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
නැහැ ස්වාමීනි
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා
සමස්ත කණ්ඩායම සිවිල් ඇඳුමෙන් ආයුධ සමග යන්න මම නම් දෙන්නේ නැහැ කියලා ඉහළ නිලධාරියෙක් මෙම පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශ කළා. එය නිවැරැදිද?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
ස්වාමීනි, සිවිල් ඇඳුමෙන් යන්න අවසර ඉල්ලා තිබුණා. ඒ නිසා තමයි මම අනුමත කරලා ඉහළට ඉදිරිපත් කළේ
විනිසුරු මඬුල්ල
එහෙම කෙනෙක් මැරුණා කියලා අනික් අය යවන්නේ නැතිව ඉන්න එක හරි ද? යුද්දෙට යවද්දිත් දෙන්නෙක් නැති වුණා කියලා අනික් අය යවන්නේ නැතිව ඉන්න එක හරි ද?
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
ඊට පස්සේ ඇයි යළිත් මෙහෙයුමකට කට්ටිය යෙදවීමක් නො කළේ. එතැනින් යුක්තිය, කුඩුකාරයෝ ඇල්ලීම ඔක්කොම ඉවර වුණා ද?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
නැහැ ස්වාමීනි අපි යළිත් මෙහෙයුම් කළා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා
මෙම සිදුවීමෙන් පසු හරක්කටාගේ නම් ලැයිස්තුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සිදු වුණේ නැහැ. එය කඩාකප්පල් වුණා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
නැහැ ස්වාමීනි, අවස්ථා කිහිපයකදීම විමර්ශන සිදුකළා.
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අදාළ වැටලීමට ගිය පිරිස සිදු කළ ප්‍රකාශ මත තමා මෙම සිදුවීම සම්බන්ධයෙන් නිගමනයකට පැමිණි බව නෙවිල් සිල්වා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියා.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
වැරදි කරපු කෙනා වැරදි කළා කියලා කියන්නේ නැහැනේ. නිලධාරීන් කියපු එක විශ්වාස කරගෙන ඒක මත ම ක්‍රියා කරනවා නම් ඔබ එම තනතුරේ සිටිය යුතු ද? මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් ඔබ කරලා තියෙන්නේ. පලා යන කෙනෙකුට වෙඩි තියනවා නම් හෝටලයේ උඩ කාමරයට වෙඩි වදින්න පුළුවන් ද ?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා
රාත්‍රී කාලය නිසා ඒක වෙන්න ඇති ස්වාමීනි.
කමිටු සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා
පුහුණු නැති අය ද T56 අරගෙන යන්නේ. අනික පලා යන මිනිහා පියඹලා ද ගියේ උඩට වෙඩි තියන්න? සී.සී.ඩී. එකේ අය වැරදි කළේ නැහැ කියලා ඔබ කොහොමද තීරණය කළේ?
සාක්ෂිකරු, නෙවිල් ද සිල්වා – නිහඬව සිටියි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වග උත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම ඊයේ දිනයෙන් අවසන් වූ අතර, පරීක්ෂණ කමිටුව නැවත ජූලි මස පළමුවන දා පෙ.ව. 9.30 ට රැස්වන බව දැනුම් දී සිටියා.
