උසාවියේ නඩු පොතක සටහන් මකා දාලා… වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් තීන්දුවත් නීත්‍යනුකූලදැයි සැකයක්  

ජිමුත් ඉඳුසර රත්නායක

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වා ගෙන ගිය මෝෂන් ලේඛනයක් කුරුටු ගෑවේ කවුරුන් ද ? යන්න සෙවීම සඳහා  අවශ්‍ය වුවහොත් රහස් පොලිසිය ද සම්බන්ධ කර ගන්නා බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (25) දැනුම් දෙනු ලැබූ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.  

අදාළ ප්‍රශ්න ගත මෝෂන් පොත මුද්‍රා තබා සේප්පුවේ තැබීමට ද නියම කළ මහේස්ත්‍රාත්වරිය,  වැඩිදුරටත් දන්වා සිටියේ, කුරුටු ගෑ සටහන කුමක් ද යන්න හෙළි කර ගැනීමට අවශ්‍ය වුවහොත් ප්‍රශ්න ගත මෝෂන් පොත රජයේ සැක කටයුතු ලේඛන පරීක්ෂකවරයාට යැවීමට පියවර ගන්නා බවයි.

2024 ජනවාරි මස 09 වන දා මෙම ප්‍රශ්න ගත නඩුව කැඳවීම තමා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමා නිවාඩු ගිය දිනයක වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවේ නඩුව කැඳවා ඇති බව ද අවධාරණය කළ  මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළ ව මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රශ්න ගත නියෝගය ලබා දී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව තමා මේ වන විටත් සිතන බව ඇය අවධාරණය කර කියා සිටියා.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්ෂවරුන්ට එරෙහිව පවරා තිබූ මෙම නඩුව 2024 ජනවාරි 19 වැනි දා කැඳවීමට දින නියම කර තිබියදී නඩුව 2024 ජනවාරි 09 වැනිදා කැඳවීමට නියම කරන්නැයි ඉල්ලීම් කිරීම මෙන් ම එදින නඩුව සම්බන්ධයෙන් සිදු කළ කාර්යයන් පිළිබඳ ව අදාළ රෝහලේ පවත්වාගෙන යන මෙමෝ පත්‍ර පරීක්ෂා කර උසාවියට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මියට මහේස්ත්‍රාත්වරිය නියම කර සිටියා.

ඒ අනුව නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේ දී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත ද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීම සඳහා නඩු ගොනුව සහ ඊට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේ දී උසාවියේ පවත්වා ගෙන ගිය මෝෂන් පොතේ 2024 ජනවාරි 09 වැනිදා ප්‍රශ්න ගත නඩුව කැඳවන්නැයි ඉල්ලා තබා තිබූ සටහනක් කිසිවකුටත් හඳුනා ගත නො හැකි අන්දමට කුරුටු ගා ඇති අන්දම නිරීක්ෂණය වූ බව මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අවධාරණය කර කියා සිටියා.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ ව එම රෝහලේ අධ්‍යක්ෂවරුන්ට සහ අදාළ රෝහලේ සේවිකාවක වන බී.ඩී. සඳතිසරු නමැත්තියට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකා ලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ රෝහල විසින් අභියාචනාධිකරණයේ පවරා තිබූ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව ඊයේ දිනයේ දී කැඳවනු ලැබුවේ.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්ෂකවරයා විසින් මෙම නඩුව පවරා තිබූ අතර, 2023 පෙබරවාරි 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ එම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන් යොදා මුදල් අය කළ බවට ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම නඩු පැවරීම සිදු කර තිබුණා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම නඩුව පැවරූ පසු ජනවාරි මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට නොතීසි නිකුත් කර තිබිය දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් ජනවාරි මස 17 වැනිදා මෝෂමක් මාර්ගයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසූරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනා වලට වරද පිළිගැනීමෙන් පසු ඔහුට රුපියල් 25000/- ක දඩයක් නියම කර තිබූ අතර දඩ මුදල නො ගෙවුව හොත් මාස 06 ක සිරදඬුවමකට ඔහු යටත් වන බවට තීන්දු කර තිබුණා.

එසේ මෙම නඩුව සම්බන්ධයෙන් මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත බවට අගතියට පත් සනත් කුමාර අතුකෝරල මහතා කළ පැමිණිල්ලකට අනුව වැඩ බලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත ද? නැද්ද? යන්න පිළිබඳ සෙවීම සඳහා මෙසේ නඩුව යළි විවෘත කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත අධිකරණ භාෂණ පරිවර්තක අචිනි වීරකෝන් මෙනෙවිය විසින් නඩුව කැඳවා සිටියා.

ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගතද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව සකස් කිරීම සඳහා නඩු ගොනුව සහ ඊට අදාළ ලේඛන පරික්ෂා කිරීමේ දී උසාවියේ පවත්වා ගෙන ගිය මෝෂන් පොතේ’ 2024 ජනවාරි 09 වැනිදා ප්‍රශ්නගත නඩුව කැඳවන්නැයි ඉල්ලා තබා තිබූ සටහනක් කිසිවකුටත් හඳුනා ගත නො හැකි අන්දමට කුරුටු ගා ඇති අන්දම නිරීක්ෂණය කළ බවත් ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මෝෂන් පොත් කුරුටු ගෑවේ  කවුද ? යන්න සෙවීම ඉතා ම වැදගත් බවත් අවධාරණය කළා.

ප්‍රශ්න ගත නඩුව 2024 ජනවාරි 24 වැනිදා ද කැඳවන්නැයි ඉල්ලා මෝෂන් පොතේ සටහනක් යොදා අත්සනක් යොදා ඇති බව පවසමින් ප්‍රශ්න ගත මෝෂන් පොත පරීක්ෂා කිරීම සඳහා නීතිඥ රලිත අමරසේන මහතාට දුන් අවස්ථාවේ දී එය තමාගේ අත්සන බව පිළිගත් නීතිඥ අමරසේන මහතා එදිනට පෙර තමා මෙම නඩුවට අදාළ ව මෝෂන් පත් ඉදිරිපත් නො කළ බවත් තමන් මෙම නඩුවට සම්බන්ධ වූයේ 2024 පෙබරවාරි මාසයේ සිට බවත් පවසා සිටියා.

ඒ අවස්ථාවේ දී නඩුවේ විත්තිකරුවකු වන අදාළ සමාගමේ බලයලත් නියෝජිතයෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇති කැලුම් ගිමේන්ත්‍ර ජයසූරිය නමැත්තා ඇමතූ මහේස්ත්‍රාත්වරිය 2024 ජනවාරි 19 වැනිදා තමා උසාවියට ආවාද? යනුවෙන් විමසා සිටි අවස්ථාවේ දී ඊට පිළිතුරු දෙමින් තමා එදින උසාවියට නො පැමිණි බව හොඳින් ම විශ්වාස බවත් නඩුව තිබුණේ 2024 ජනවාරි 23 වැනිදා නිසා එදින උසාවියට පැමිණීමට තමාට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැතැයි පවසා සිටියා.

ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය 2024 ජනවාරි 19 වැනිදා මෙම නඩුව කැඳවන ලෙස ඉල්ලා මෝෂන් පොතේ ස්ථාන දෙකක සටහන් දෙකක් තබා ඇති බවත් එම නඩුව අධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් ලකුණු නො කිරීම හේතුවෙන් පසු අවස්ථාවක එක් අංකයක් කිසිවකුටත් හඳුනා ගත නො හැකි වන අන්දමට කුරුටු ගා ඇති බව ද නිරීක්ෂණ කිරීමට හැකි වූ බව සඳහන් කර සිටියා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය

2024 ජනවාරි මාසයේ දී තමා ආයතනය වෙනුවෙන් උසාවියට ආවා ද ?

ආසිරි රෝහලේ නීති නිලධාරි නීතිඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මිය

2024 ජනවාරි මාසයේ උසාවියට ආවා ද කියා මට මතක නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය

මට මතක නැහැ කියා හරියන්නේ නැහැ” මතක් කරගත යුතුයි.” ආයතනයේ මෙමෝ පත මඟින් උසාවියට ආව ද කියා සෙවිය හැකියි නේද?

නීතිඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මිය

ඔව්, මං කාර්යාලයට ගිහින් ඒ බව සොයා කියන්නම්.  කාර්යාලයේ කැලැන්ඩරය පරීක්ෂා කර බලා ඒ බව දැනුම් දිය හැකියි.”

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය

රෝහල වෙනුවෙන් පෙනී සිටීම සඳහා එහි නියෝජිතයාට බලය පවරමින් ලිපිය දුන් දිනයේ දී ම මෙම නඩුව කැඳවීමට මෝෂන් පොතේ සටහන් දෙකක් දාලා තියෙනවා. එක් සටහනක් කුරුටු ගා’ තියෙනවා නඩුව කැඳවීමට මෙලෙස සටහන් තැබූ පාර්ශ්ව දෙක කවුද? යන්න සෙවිය යුතුයි . එක් මෝෂන් පතක් මං ප්‍රතික්ෂේප කළ පසු නඩුව යළි කැඳවා ඇත්තේ කෙසේ ද? යන්න සෙවිය යුතුයි. අගතියට පත් සනත් අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා කරුණු දක්වමින් වැඩබලන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය නීත්‍යනුකූල ද ? ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පුවත්පත් දැන්වීම් පළ කළ යුතු වුවත් එසේ කිරීමට නියෝග නො කළේ ඇයි? ආදී සියලු කරුණු සෙවිය යුතුයි.

කෙසේ වෙතත් අවසානයේ දී මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය දී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව තමා තවමත් විශ්වාස කරන බවයි.

මෝෂන් පොතේ තැබූ සටහන කුරුටු ගෑම සම්බන්ධයෙන් අධිකරණයෙන් යොමු කළ ප්‍රශ්න වලට සවිස්තර වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආසිරි රෝහලේ නීති නිලධාරි නීතිඥ ශර්මිලා ප්‍රනාන්දු මහත්මියට නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ජූලි 07 වැනිදා යළි කැඳවීමට නියම කර සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද සිරිකුමාර මහතා පෙනී සිටි අතර අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන උදාර විජේසිංහ සහ රන්දුණු හිල්ලගේ මහත්වරු සමඟ නීතීඥ රංජිත් හිල්ලගේ මහතා පෙනී සිටියා.

තව ද විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් නීතිඥ නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන මහත්වරුන් සමග නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටිනු ලැබුවා.

Author

1 Comment

  • මෝෂන් පොත කුරුටු ගෑම වැනි වරද සුළුවෙන් නො තැකියැ යුතු ය. වරදකරු සොයා ගත හැකි වුව හොත් උපරිම දඬුවම් දියැ යුතු ය !එය විනය ගරුක, නීති ගරුක ජන සමාජය ක නීතියේ ආධිපත්‍යය ඉහළින් ම තැබීම ට තව ත් අගනා අවස්ථාව ක් වනු ඇත!

Comments are closed.

Related Posts