ජිමුත් ඉඳුසර රත්නායක
ජනාධිපතිවරයාගේ සමාව අව භාවිතා කරමින් වරදකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධිය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජුලි 9 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අද (25) පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
තව ද මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර එදින අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග පැමිණිලි පාර්ශවය වෙත නියෝග කළා.
එ මෙන් ම මෙම සැකකරු මේ වන විට රඳවා සිටින බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කළ ඉල්ලීමකට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.
කෙසේ නමුත් පැමිණිල්ල අද දිනයේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වෙසක් පොහෝ දින සමාව යටතේ නිදහස් කෙරුණු අතුල තිලකරත්න නමැති පුද්ගලයා සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ පළ කර තිබූ මාධ්‍ය වාර්තාවක් පිළිබඳ ව මෙම සැකකරු අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරියට ලිපියක් යවා තිබූ බව සඳහන් කර සිටියා.
ඇය එහි දී “ස්වාමීනි… මේ සැකකරු විසින් ජුනි මස 6 වන දා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යැවූ ලිපිය සමඟ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එවූ බව කියන ලිපියකුත් යවා තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයෙන් ලැබුණු ලිපිය සම්බන්ධයෙන් අපට විශාල සැකයක් තිබෙනවා. මොකද මේ අනුරාධපුර ලිපිය එවපු දිනය පිළිබඳ මුද්‍රාවක් නැහැ. ලැබුණු දිනය පිළිබඳ මුද්‍රාවකුත් නෑ. එම ලිපියේ ලිපි ගොනු අංකය සඳහන් වන්නේත් නැහැ. රාජ්‍ය ආයතනයකට මේ ආකාරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ ස්වාමීනි… ඒ නිසා අපට විශාල සැකයක් තිබෙනවා මේ සැකකරු තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කිරීම සඳහා මෙම ලිපිය සකස් කරන්නට ඇති බවට. මොකද රාජ්‍ය ආයතනයක උසස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලිපිය සැක සහිතයි.” යනුවෙන් සඳහන් කර සිටියා.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ජනාධිපති සමාවට මුවා වී නිදහස් ව ගිය පුද්ගලයින් පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරමින් සිටින බව දැනුම් දුන් අතර,
“ලැයිස්තුවලට පිටින් නිදහස් ව ගිය පුද්ගලයින් ගැනත් මේ විමර්ශනවල දී කරුණු අනාවරණය වෙලා තිබෙනවා. මොහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. මොහුට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා නීති විරෝධී ආකාරයට පුද්ගලයින් නිදහස් කර වීම පිළිබඳ ව විමර්ශන සිදු කරන අවස්ථාවක ඔහුට ඉදිරියේ දී ත් අප ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. ඒක විමර්ශන වලට බාධාවක්. පොලිසිය මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ සාධාරණ කරුණු අනාවරණය වීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ලබා දුන් තීන්දුවක සඳහන් වෙනවා විශ්වාසදායී තොරතුරු තිබෙනවා නම් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. නමුත් මෙම සිද්ධියේ දී විශ්වාසදායක තොරතුරකට වඩා ඔබ්බට ගිය කරුණු අප සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි විමර්ශන වලට කාලය ලබා දෙමින් මෙම සැකකරුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.
අවසාන වශයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය” ස්වාමීනි අද මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී පෙනී සිටියා හිටපු අමාත්‍යවරයකු වන මෙල්රෝයි ප්‍රනාන්දු නැමැත්තාගේ බිරිඳ විසින් සිදු කළ මිනීමැරුමකට අදාළ නඩුවකට. එම නඩුවේ දී විත්තිකාරිය මරණීය දණ්ඩනය ලැබුවා. මේ තැනැත්තියත් පසුව ලැයිස්තුවට පිටින් ජනාධිපති සමාව ලබා නිදහස් ව තිබෙන බව හෙලි වෙලා තිබෙනවා. පොදු සමාව යටතේ මිනීමැරුම් චෝදනා ලැබු අය නිදහස් කරන්න බැහැ. එහෙත් එහෙම නිදහස් වෙලා තිබෙනවා.” යනුවෙන් ද සඳහන් කර සිටියා.
ඉන් අනතුර සැකකාර තුෂාර උපූල්දෙනිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,
“ස්වාමීනී…. පසුගිය නඩු දිනයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා ඉදිරි සති දෙක තුළ අධිකරණය මවිතය ට පත් වන ආකාරයේ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බවට. ඒ වගේ ම අනුරාධපුරයෙන් නිදහස් වූ තිලකරත්න නැමති පුද්ගලයා විදේශගත වී ඇති බවටත් ඔහු පැවසුවා. නමුත් අද උසාවිය විමතියට පත් වන කිසිම තොරතුරක් පැමිණිල්ල ඉදිරිපත් කළ නෑ. තිලකරත්න නමැති පුද්ගලයා අනුරාධපුර උසාවියේ අත උස්සලා කියනවා තමන් තවම ඉන්නවා කියලා. ස්වාමීනී යම් පුද්ගලයෙක්ව නීති විරෝධී ආකාරයට නිදහස් කරලා තිබෙනවා නම් එක දෙයයි කළ යුත්තේ. ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතුයි. නමුත් එවැනි පියවරක් තවම අරගෙන නැහැ.” යනුවෙන් සඳහන් කර සිටියා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ, “මෙතන කිසිම අපරාධ ම ය වරදක් සිදු වෙලා නැහැ. අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිපියක් ලැබෙනවා පසුගිය මැයි මස 05 වන දා වන විට පොදු සමාව යටතේ නිදහස් කළ හැකි රැඳවියන්ගේ ලැයිස්තුවක් එවන්න කියලා. නිදහස් කිරීම සිදු වන්නේ මැයි මස 12 වනදා. ඒ අතරතුර මැයි මස 05 වනදා සහ 12 වනදා කාලයේ තවත් පිරිසක් නිදහස් වීම සඳහා සුදුසුකම් ලබනවා. ඒ පිරිසත් නිදහස් කිරීම සිදු කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. සෑම වසරක ම කලින් තෝරාගන්න පිරිසට වඩා වැඩි පිරිසක් නිදහස් වෙනවා. ඒවා සිදු වන්නේ ජනාධිපතිවරයා එවන නිර්ණායක අනුවයි. පසුගිය අප්‍රේල් මස 30 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් විසින් මගේ සේවා දායකයාට ලිපියක් එවනවා ලැයිස්තුවෙන් පිට කිසිවකු නිදහස් කරන්න එපා කියලා. පසුව ඔහු මේ අතිරේක ලේකම්වරියට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරනවා. පසුව මේ ලිපිය ඉවත් කර ගෙන තිබෙනවා. සෑම වසරක ම ලැයිස්තුවලට සඳහන් ප්‍රමාණයට වඩා වැඩි රැදවියන් පිරිසක් නිදහස් වෙනවා. බන්ධනාගාර පනතේ 47 වන වගන්තිය යටතේ නිදහස් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණය ගත හැක්කේ අදාළ බන්ධනාගාරයේ ජේලර්වරයාට පමණයි. මගේ සේවා දායකයාට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. මීට පෙර සිටි බන්ධනාගාර කොමසාරිස්වරු කටයුතු කරලා තිබෙන්නේ මේ ආකාරයට ම තමයි” යනුවෙනුයි.
මීට අමතරව අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ අතුල තිලකරන්න නමැති පුද්ගලයා පොදු සමාව යටතේ නිදහස් කිරීම නීත්‍යනුකූල බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබුවා.
“ස්වාමීනී… අතුල තිලකරත්න නමැති පුද්ගලයාට වසර දෙකක බරපතළ සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවනවා. ඉන් පසුව රුපියල් මිලියන දෙකක දඩයක් නියම වෙනවා. දඩ නො ගෙව්වොත් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම වන බවත් නියෝගයේ සඳහන් වෙනවා. නමුත් මේ පුද්ගලයා මැයි 05 වන දා වන විට නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ නෑ. මොකද ඔහු වෙනත් නඩු දෙකකට රිමාන්ඩ් භාරයේ සිටි නිසා. නමුත් පසුව ඔහුට ඇප ලැබෙනවා. ඒ නිසයි ඔහු මැයි මස 14 වන දා නිදහස් වන්නේ.” යනුවෙන් කරුණු පෙන්වා දීමෙන් අනතුරුව වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ” ස්වාමීනි මගේ සේවා දායකයා අපරාධ ම ය වරදක් කළ බවට කිසිම සාක්ෂියක් උද්ගත වෙන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශය කළ නුහුරු නුපුරුදු ක්‍රියාවක් නිසයි මේ ප්රශ්නය මතු වුණේ. මේ විදියට රාජ්‍ය පරිපාලනය කරන්න බැහැ. සමාජ මාධ්‍ය බලපෑම් වලට යට වෙලා තීරණ ගන්ඩ බැහැ. මින් පසුව කිසිම රාජ්‍ය නිලධාරියෙක් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට සහනයක් ලබා දෙන්න බය වේවි. මොකද ඒ තුළින් ප්‍රශ්නයක් මතුවුනොත් ජනාධිපතිතුමා දිලීප පීරිස් මහත්තයාට කියයි කුදලගෙන ඇවිල්ලා රිමාන්ඩ් කරන්න කියලා. රාජ්‍ය පරිපාලනය කරගන්න බැරි වුණා ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ ප්‍රශ්න විසඳගන්න හදනවා. මෙහෙම කරන්න ගියොත් අපරාධ පරීක්ෂණ අමාත්‍යාංශයකුත් පිහිටුවන්න වෙයි.” යනුවෙන් සඳහන් කර සිටියා.
“ ස්වාමීනි… මගේ සේවා දායකයාවත් අඩංගුවට ගන්න හේතුව පසුගිය නඩු දිනයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා. නිදහස් වූ පුද්ගලයා අනුරාධපුරයේ පුද්ගලයෙක් නිසා ජනාධිපතිතුමාට සිදු වන අපහසුතාවය සැලකිල්ලට අරගෙන තමයි මොහු අත්අඩංගුවට ගත්තේ. සමාජ මාධ්‍යයෙන් එල්ලවූ බලපෑම නිසයි මේක සිදු වුණේ. දැන් මේ තත්ත්වය සමනය වෙලා තිබෙන්නේ. ජනාධිපතිතුමාට කිසිදු අගතියක් සිද්ධ වෙන්නෙත් නෑ.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා තම සේවා දායකයා මේ වන විට වැඩ තහනමට ලක් ව සිටින නිසාත් ඔහුට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති නිසාත් ඔහු ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ම ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර සිටියා.
