රවී සෙනෙවිරත්නගේ රිය අනතුර- බීමතින් රිය පැදවීමේ චෝදනාව ඉවත් කොට අලුතින් ගොනුකළ චෝදනා පත්‍රය මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරලා!

අනුරංග ජයසිංහ

වැල්ලවත්ත මුහුදු මාර්ගයේ 2023 දී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට ගොනු කර ඇති නඩුව, ජුනි 25 විභාගයට ගත් අවස්ථාවේ චෝදනා ගොනුකිරීම පිළිබඳ ගැටලු සහගත තත්වයක් ඇති වුණා.

මෙහිදී නඩුව විභාග කිරීම සඳහා ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය වෙනුවට  ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හෝ වෙනත් මහේස්ත්‍රාත්වරියක  පත් කරන ලෙසට රවී සෙනෙවිරත්න මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සිදුවීමේදී අනතුර සිදු කිරීමට අදාල පළමු චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම මත පමණක්ව නඩුව පවත්වාගෙන යා යුතු බව නීතිපතිවරයා සිය මතය ලෙස ඉදිරිපත් කර තිබුණා. අමතරව දෙවැනි හා තුන්වැනි චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කළ යුතු බව නීතිපතිවරයා සිය මතය ලෙස ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව චෝදනා පත්‍රය සංශෝධනය කර තිබුණත්, අතිරෙක මහේස්ත්‍රාත්වරිය කීවේ පෙර තිබූ චෝදනා තුනම යටතේ නඩුව ඉදිරියට ගෙන යා යුතු බවයි.

එම අවස්ථාවේදී රවී සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරා මහතා ඊට තමසේවාදායකයා වන රවී සෙනවිරත්ත හා තමා විරෝධතාවය දක්වන බවත් ඉන් තම සේවාදායකයාට සාධාරණ හා යුක්ති සහගත නඩු තීන්දුවක් නොලැබෙන බවත් අධිකරණය හමුවේ පැවසුවා.

ඒ අනුව, ලිපිය මගින් ලබා දී ඇත්තේ නීතිපති උපදෙස් ද නැත්නම් නීතිපතිවරයාගේ මතය ද යන්න පැහැදිලි කිරීමට තීරණය කරමින් අධිකරණ රෙජිස්ටාර්වරිය මාර්ගයෙන් ගරු නීතිපතිතුමාගේ නමින් ලිපියක් සකසා නීතිපති නිල මැදිරියට හෙට (26) දින අතින් භාර දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඒ අනුව නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව සුදුසු ලෙස ක්‍රියා කිරීමට නැවත මෙම නඩුව සැප්තැම්බර් මස 10 වන දිනට කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඉකුත් 2023 ඔක්තෝම්බර් 28 වන දින අලුයම 1.20ට පමණ බම්බලපිටිය සිට දෙහිවල දෙසට රිය පැදවමින් සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැදවූ මෝටර් රථය වැල්ලවත්ත මුහුදු මාර්ගයේ නවතා තිබූ වැගන් ආර් වර්ගයේ කාර් රථයක හා බස් රථයක ගැටී දැඩි අලාභ හානියක් සිදු කර තිබුණා.

එම අනතුරෙන් පසු වැල්ලවත්ත පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමතින් සිටි බව නිසියාකාරව තහවුරු කරගැනීමට කටයුතු කර තිබුණේ නැහැ. ඔහු බීමතින් සිටි බවට තහවුරු කරගැනීමට අදාල ශ්වසන පරීක්ෂණය නියමිත ක්‍රියාවලියට අනුව සිදු නොවූ අතර, ඔහු බීමතින් නොසිටි බවට ප්‍රකාශ කර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් වැල්ලවත්ත පොලිසිය පෙනී සිටි අතර චූදිත වෙනුවෙන් චන්දන පෙරේරා හා ගීත්ම ප්‍රනාන්දු සහා වරුණ ජයසිංහ යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියා.

Author

Related Posts