ජිමුත් ඉඳුසර රත්නායක
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක විසින්, රෝහලේ ඖෂධ තිබිය දී ඒවා පිටතින් මිල දී ගැනීමට රෝගීන්ට නිර්දේශ කිරීම හේතුවෙන් ඇය ව නීතිය ඉදිරියට පැමිණ වීමට පසුගිය දා කටයුතු කළා.
මෙම සිද්ධියත් සමඟ ඖෂධ පිටතින් මිල දී ගැනීමට නියම කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් සහ ව්‍යාකුල තත්ත්වයක් ඇති වුණා.
මෙම තත්ත්වය සඳහා තවත් හේතුවක් බවට පත් වුණේ මෑත කාලයේ වරින් වර රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට ප්රවෘත්ති පළ වීමත් සමඟයි.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා සඳහන් කළේ, රෝහල්වල ට අවශ්‍ය ඖෂධ වර්ග අටසිය හැට දෙකකින් (862) හා ශල්‍ය උපකරණ දොළොස් දහස් හාරසිය හතලිස් හතරකින් (12,444) සමන්විත වන ජාතික ඖෂධ ලැයිස්තුවට පරිබාහිර ව ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් ඖෂධ නිර්දේශ කිරීම ඖෂධ හිඟය සඳහා ප්‍රධාන හේතුවක් වන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන් හී දී ඇති වන ඖෂධ හිඟයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම සඳහා මෙන් ම වත්මන් ඖෂධ කළමනාකරණ පද්ධතිය වන ‘ස්වස්ථා’ පද්ධතිය ඔස්සේ සිදු වන මිල දී ගැනීම් සහ එම කටයුතුවල දී පැන නගින ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් සෙවීම මූලික කර ගනිමින් පැවැත්වුණු වෛද්‍ය සැපයීම් දේශීය වශයෙන් මිළ දී ගැනීම් සම්බන්ධ දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවකට එක් වෙමින්.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මේ සියල්ල සඳහා නීතිමය රැකවරණය ලබා ගැනීමට නම් ඒ ඒ රෝහල්වල නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු පැවැත්විය යුතු බවයි. ඒ පිළිබඳ මාර්ගෝපදේශයේ ද සඳහන් ව තිබුණත්, පුද්ගලික ව සිදු කළ සොයා බැලීම්වල දී බොහෝ රෝහල්වල එම වැඩපිළිවෙළ නිසි ආකාරයකට සිදු නොවන බව අනාවරණය වූ බව ඔහු ප්‍රකාශ කර සිටියා.
කෙසේ නමුත් රජය විසින් මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රජයේ රෝහල් පද්ධතිය මඟින් ලබා දීමට කටයුතු කරන බවත්, යම් හෙයකින් රජයේ රෝහල් පද්ධතිය තුළ එම ඖෂධ වර්ග නොමැති නම්, රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා එම ඖෂධ පූර්ණ විනිවිදභාවයකින් හා කඩිනමින් ප්‍රාදේශීය වශයෙන් මිල දී ගැනීමට කටයුතු කරන ලෙසත් බලධාරීන් වෙත දැනුම් දුන් අමාත්‍යවරයා අවසාන වශයෙන් සඳහන් කර සිටියේ, සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තරයෙන් ම අවංක නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කර තිබුණා.
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය සඳහා පිළිතුරු දක්වමින් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල අරුණ පුවත්පත කළ විමසීමක දී ප්‍රකාශ කර තිබුණේ, රෝහල් වලට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ඇතුළත් ජාතික ලැයිස්තුව සතු ව නොමැති යම් ඖෂධයක් රෝගියකුට අවශ්‍ය වේ නම් පරිබාහිර ව හෝ එම ඖෂධය නිර්දේශ කර රෝගී ජිවිත බේරා ගැනීමට සිදු වන බවත්, ලැයිස්තු මත හෝ විවිධ ප්‍රකාශ මගින් රෝගී ජිවිත බේරා ගැනීමේ ක්‍රියාවලිය කළ නො හැකි බවත් ය.
නියෝජ්‍ය ඇමතිවරයා පවසන ආකාරයට රෝගියෙකුට අවශ්‍ය යම් ඖෂධයක් ජාතික ලැයිස්තුව සතු ව නොමැති නම් එම ඖෂධය පරබාහිරව හෝ නිර්දේශ නො කර රෝගියාට මිය යාමට ඉඩ හැරීමට සිදු වන බව පවසා සිටි විශේෂඥ වෛද්‍යවරයා, එකී ප්‍රකාශය කිසිදු ආකාරයකින් ප්‍රායෝගික නොවන බව ද එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර රජයේ රෝහල් වල ඖෂධ ඇතුළු උපකරණ නොමැති අවස්ථාවල දී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ ඇතුළු උපකරණ පිටතින් ලබාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙස ඉල්ලා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය විසින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වෙත ලිපියක් ද යොමු කර ඇති අතර, එම ලිපියේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න 05 ක් අන්තර්ගත බව එම සංගමය විසින් සඳහන් කර සිටියා.
එම ප්‍රශ්න පහ මෙසේ යි.
- රෝගියාට / රෝගියාගේ ඥාතියාට වට්ටෝරු ලබා දී පිටතින් ඖෂධ ගන්නා ලෙස කිව හැකි ද ?
- එම ඖෂධ වර්ග මිල දී ගන්න පුළුවන් ස්ථාන දැනුම් දිය හැකි ද ?
- ඕ.පී.ඩී. වලින් ආපු අයට වට්ටෝරු ලබා දිය හැකි ද ? නැත්නම් ඒ සඳහා සෞඛ්‍ය පරිපාලකගේ අනුමැතිය අනිවාර්ය ද ?
- රෝහල්වල නොමැති රසායන පරීක්ෂණ පිටතින් කරවා ගැනීම සඳහා වට්ටෝරු ලබා දිය හැකි ද ?
- ඖෂධ, උපකරණ, පරීක්ෂණ නොමැති බව රෝගියාට හෝ ඥාතීන්ට දන්වන්න පුළුවන් ද ?
මෙම ප්‍රශ්න පහට අමතරව රජයේ රෝහල්වල මෙම ඖෂධ නොමැති අවස්ථාවල දී ඒවා බාහිරින් ලබා ගැනීමට පියවර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන් උත්සාහ කරන බවත් ඒ සම්බන්ධයෙන් විවිධ වැරදි මත පවතින බවත් සඳහන් කර තිබූ අතර, එලෙස වෛද්‍යවරුන් විවිධ චෝදනාවලට ගොදුරු වීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි බවයි සඳහන් වන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත යවන ලිපියක සඳහන් කර තිබුණේ, රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය සඳහා බාහිර බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෑතක දී එල්ල වූ චෝදනා මාලාව, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශ්‍රේණියේ නිලධාරීන් යන දෙපිරිසේ ම බරපතළ කනස්සල්ලට හේතු වී තිබෙන බවයි.
මේ හේතුවෙන් රෝගීන්ගේ ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් යටතේ නිසි ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා රජයේ රෝහල් පද්ධතිය තුළ තොග නොමැති ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය සඳහා බාහිර බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමට කටයුතු කරන බවත්, මෙසේ ඇති වී තිබෙන තත්ත්වය මත රෝගීන්ගේ යහපත සඳහා සද්භාවයෙන් ක්‍රියා කළ ද තම සංගමයේ සාමාජිකයින්ට එරෙහිව විමසීම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සමඟ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බැවින් පැහැදිලි උපදෙස් සහ මාර්ගෝපදේශ නොමැතිව බාහිර බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම තවදුරටත් සිදු කළ නො හැකි බවත් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මේ සඳහා කඩිනම් සහ ධනාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත්, ඒ හරහා දිවයින පුරා සෞඛ්‍ය සේවා කාර්යක්ෂම ව ක්‍රියාත්මක වීම සහතික වනු ඇති බවත් ඔවුන් අවසාන වශයෙන් තම ලිපියේ සඳහන් කර තිබුණා.
අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී අප කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කළේ, රෝහල් සඳහා ඖෂධ සපයන ක්‍රම තුනක් ඇති බවත්, ඉන් පළමු ක්‍රමය ඖෂධ වර්ග අටසිය හැට දෙකකින් (862) හා ශල්‍ය උපකරණ දොළොස් දහස් හාරසිය හතලිස් හතරකින් (12,444) සමන්විත ජාතික ඖෂධ ලැයිස්තුව හරහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් ඖෂධ සැපයීම වන බවත් ය. තව ද එම ඖෂධ නිර්දේශ කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ම වන බවත්, ඒ අතරින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ වර්ග 432 ක් සඳහා මෙන් ම ශල්‍ය උපකරණ 5906 ක් සඳහා ටෙන්ඩර් නිකුත් කරන බවත් සඳහන් කළා.
කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදු කරනු ලබන ඖෂධ සැපයීම්වල දී විටින් විට බාධා එල්ල වන බවත්, එසේ මෙම සැපයීමේ යම් ප්‍රමාදයක් ඇති වන බව දැනුන හොත්, එම ඖෂධ අවසන් වීමට සති දෙකකට පෙර ප්‍රාදේශීය වශයෙන් මිල දී ගැනීමට කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් ඇති අතර, එය දෙවන ක්‍රමය වන බවත් පැහැදිලි කළා. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා හා ඖෂධ සපයන්නා මේ පිළිබඳව රෝහල් අධ්යක්ෂවරයාට දැන්වීමෙන් අනතුරුව මෙම ඖෂධ අමාත්‍යංශයේ මධ්‍යම ගබඩාවේ එම ඖෂධය පවතින්නේ දැ යි නිරීක්ෂණය කළ හැකි අතර එසේ නොමැති නම් ප්‍රාදේශීය වශයෙන් මිළ දී ගත හැකි බවයි සඳහන් කළේ.
පසුගිය වසරවල මෙසේ ඖෂධ ගෙන්වීමේ දී සිදු වූ ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් මෙම වසර සඳහා සම්මත කරන ලද අයවැයේ දී මෙම ප්‍රාදේශීය මිළ දී ගැනීම් සඳහා රුපියල් කෝටි 3500 ක් වෙන් කළ අතර, එය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් සඳහා වෙන් කරන ලද රුපියල් කොටි 6000 ක මුදල සමඟ සැසඳීමේ දී විශාල මුදලක් ලෙස දැක්විය හැකි බව අමාත්‍යවරයා පෙන්නා දෙනු ලැබුවා.
මෙම ක්‍රියාවලියට අමතරව තුන්වන ක්‍රමය ලෙස රෝගී සුබසාධනය සඳහා රෝගීන් වෙනුවෙන් නියම කරන ඇතැම් ඖෂධ වර්ග රෝහල් පද්ධතියේ නොමැති වන ඇතැම් අවස්ථාවල දී රජයට එම ඖෂධ සියල්ල සැපයිය නො හැකි බැවින් විශේෂඥ වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත ෆාමසි හරහා මිල දී ගැනීමට නියම කිරීමේ ක්‍රියාවලියක් ද යම් තරමකින් ක්‍රියාත්මක වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර, මෙම ප්රශ්නය පැන නැගීම පසුපස ඇත්තේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ඖෂධ මිල දී ගැනීම සඳහා එක් විශේෂිත ෆාමසියක් නම් කිරීමත්, එම ෆාමසිය හරහා වෙළඳපොළෙහි සාමාන්‍ය මිල ට වඩා තුන් හතර ගුණයකින් ඖෂධ අළෙවි කිරීමේ වංචා සහගත සිද්ධියක් බව අවධාරණය කරනු ලැබුවා.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ සමාගම් විසින් සාධාරණ ලාභයක් සහිත ව වෙළඳපොළට නිකුත් කරන මුදල සම්බන්ධයෙන් තමාට ගැටලුවක් නොමැති බවත්, මෙම පරීක්ෂණය තනි කර ම පාහේ රඳා පවතින්නේ අසාධාරණ ලාභ තබා ගනිමින් මෙසේ සිදු කරන වංචා සහගත ක්‍රියා සඳහා පමණක් බවයි.
එම නිසා මෙම ක්‍රියාවලිය සඳහා සාධාරණ ව ක්‍රියා කරන විශේෂඥ වෛද්‍යවරුන් කිසි සේත් ම අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නො වන බවත්, මෙසේ අනියත බියක් සමාජය තුළ ඇති කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වර්ධනීය ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම පසුපස ඇතැම් දේශපාලන කණ්ඩායම් හා බහුජාතික සමාගම් ඍජුව ම සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ රෝහල්වල ඖෂධ නොමැති නම් රෝගීන් ලවා පිටතින් ඖෂධ ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ නීතියක් බවට පත් වෙන ලකුණු පෙන්නුම් කරන බවත්, මෙවැනි තත්ත්වයක් තිබිය දී පවා, රෝගීන් ලවා විවිධ ද්‍රව්‍ය බාහිර ආයතන වලින් මුදලට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි විසින් ප්‍රකාශ කර තිබූ බවත් ය.
“ඖෂධ මිල පාලනය සහ සැපයීම් විධිමත් කිරීම සඳහා මිල කමිටු පිළිබඳ ව ගැටලුව විසඳුවා කියලා හංසක විජේමුණි ඇමැතිවරයා කිව්වට ඒක වෙනත් විදිහකින් ඉස්සරහට ගේන්න මේ වෙලාවේ උත්සාහ කරමින් ඉන්නවා. අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා තෝරා ගැනීමේ දී සමාගම් කිහිපයකට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ට එකඟ වූ බව ඖෂධ සමාගම් කිහිපයක් පවත්වා ගනු ලබමින් සිටින සංගමයක් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට යොමු කර ලිපියක සඳහන් වෙනවා. එවැනි පොරොන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇත්නම් නැවත මිල කමිටු දෙකක දී ඇතිවෙන තත්ත්වය ම ඇති වන අතර, සමාගම් කිහිපයකට තමන්ට අවශ්‍ය පරිදි මිල නියම කිරීමේ හැකියාව ලැබෙනවා.
ඒ අනුව යම් ඖෂධයක් සඳහා එක සමාගමක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයට යැපෙන්නට සිදුවීම හේතුවෙන් වරින්වර ඖෂධ හිඟයන් ඇති වීම ද වළක්වා ගැනීම අසීරු වෙනවා. එබැවින් ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පවසන පරිදි තෝරා ගත් සමාගම් කිහිපයකට ප්‍රමුඛතා ව ලබා දීම හෝ මිල කමිටු දෙකක් නිර්මාණය කිරීම මගින් ද මෙම ඖෂධ මිල ඉහළ යාම සහ සැපයුම් අවිධිමත් වීම වළක්වා ගත නො හැකි වෙනවා. මෙවැනි ගැටලු සඳහා පිළිතුරු ලබා නො දෙමින් ඒවා නො දැක්කා වගේ නො සිට ප්‍රතිපත්තිමය තීරණ මත කඩිනමින් ඖෂධ සැපයීම විධිමත් කිරීම අමාත්‍යාංශය වගකීමක්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
මෙම සියලු අදහස් දැක්වීම්වලට පරිබාහිර ව සමස්ත ලංකා පෞද්ගලික ඔසු සැල් හිමියන්ගේ සංගමය ද මේ පිළිබඳ තම අදහස ප්‍රකාශ කර සිටි අතර, එහි එක් ප්‍රකාශකයෙක් පවසා සිටියේ පසුගිය අප්‍රේල් 21 වන දා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සමඟ කළ සාකච්ඡාවක දී ඖෂධ මිල පාලනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කිරීම වෙනුවෙන් තීන්දු රැසක් ගත් බවයි.
ඒ අනුව එහි දී ඖෂධ හිමියන් කළ යෝජනාවට අනුව ඖෂධ ආනයනය කිරීමෙන් පසු උපරිම සිල්ලර මිල සියයට හැත්තෑ පහක (75%) මුදලකට පවත්වා ගෙන යාමට ඖෂධ ආනයන සමාගම් එකඟත්වය පළ කර ඇති අතර තොග වෙළඳුන් ට ලැබෙන ලාභය මෙන් ම සිල්ලර වෙළෙන්දාට ලැබෙන ලාභය ද ඊට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එහෙත් ඊට සතියකට පමණ පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙමින් පෙන්වා දුන්නේ රුපියලේ සිට රුපියල් හතළිහ දක්වා වූ ඖෂධ වල උපරිම සිල්ලර මිල සියයට හැත්තෑපහ (75%) මට්ටමේ පවත්වා ගෙන යා හැකි බව හා රුපියල් 40 සිට රුපියල් 2,000 ක් දක්වා වූ මිල පරාසයේ ඖෂධ සඳහා සියයට හැටපහක (65%) මට්ටමක් යෝජනා කර සිටින බවයි.
මෙම මිල සූත්‍රය සම්බන්ධ තීන්දුවට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා (23 වැනිදා) යළි නඩුවක් පැවරූ බව සමස්ත සංකා පෞද්ගලික ඔසු සැල් හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයා විසින් පවසා තිබුණා.
