තහනම් කරනවා යැයි කියූ ත්‍රස්ත විරෝධී පනත අලුතෙන් හදන්න ආණ්ඩුව ජාත්‍යන්තර සහය පතයි.

ජිමුත් ඉඳුසර රත්නායක

ත්‍රස්ත විරෝධී පනතට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය යනු කුමක් ද යන්න පිළිබඳ ව අර්ථ නිරූපණය කිරීමේ දී මෙරටට මෙන් ම ජාත්‍යන්තරයට සුදුසු ආකාරයේ අර්ථ නිරූපණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා.

එහි දී ටැන්සානියාවේ දැනට පවතින ත්‍රස්ත විරෝධී පනතේ අඩංගු ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය, ශ්‍රී ලංකාවට සුදුසු ද ?  යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා පැවැත් වූ සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා‍.

මෙම නව පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න කටයුතු කරන අතර, ඔහුගේ ප්‍රධානත්වයෙන් එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සමඟ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් Zoom තාක්ෂණය ඔස්සේ ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නිර්දේශ ද ඇතුළත් කිරීම පිළිබඳ ව මෙන් ම ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වූවන් පුනරුත්තාපනය කර ඔවුන් යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙළ ද නව ත්‍රස්ත විරෝධි පනතට ඇතුළත් කරන්නේ ද යන්න පිළිබඳ ව සාකච්ඡාවේ දී මතුවී ආ ප්‍රශ්නය සඳහා 2009 වසරේ හමුදා මෙහෙයුම් අවසානයේ ශ්‍රී ලංකාව එල්ටීටීඊ සාමාජිකයින් 12,000 කට අධික සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට ව්‍යවස්ථාවේ එවැනි කරුණු සඳහන් වුවත් නව ත්‍රස්ත විරෝධි පනතට ද ඒවා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සැපයීමට අපොහොසත් වීමේ ගැටලුව විසඳීමට ක්‍රම සහ විධි ද සාකච්ඡාවල දී මූලික වශයෙන් සාකච්ඡා වූ බවයි සඳහන් වන්නේ.

ත්‍රස්තවාදය සම්බන්ධ තොරතුරු ලබා නො දීම වරදක් ලෙස මෙම පනතට ඇතුළත් කිරීමේ නීතිමය තත්වය ගැන ද මෙහි දී විශේෂයෙන් අවධානය යොමු වී තිබෙන අතර,  ඉදිරියේ දී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස මහජනතාවට ඉදිරිපත් කරන බවත්,  එම අවස්ථාවේ දී මෙම පනත සම්බන්ධයෙන් උනන්දු වන පුද්ගලයන්ට මේ පිළිබඳ ව අවධානය යොමු කළ හැකි බවත්, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙහි දී පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පනත සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මේ පිළිබඳ ව උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ගේ දැඩි විරෝධතා මධ්‍යයේ ආණ්ඩුව විසින් මෙම නව ත්‍රස්ත පනත සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතර, ජනාධිපතිවරණයේ හා මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ද මෙම මර්දනකාරී අත්තනෝමතික පනත ඉරා දැමීමයි.

එහෙත්  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ත්‍රස්ත විරෝධී නීතියක් නොමැතිව රටකට පැවතිය නො හැකි බව ප්‍රකාශ කරමින් මෙසේ නව පනතක් කෙටුම්පත් කිරීමට සැරසෙන අතර, බලය ලබා ගැනීමට පෙර ත්‍රස්ත විරෝධී පනතක් නො මැති නිදහස් රාජ්‍යයක් ගැන ජනතාවට සිහින මැවුවේ රෙදි ඇඳ ගෙන දැ යි ඇමතිවරයාගෙන් ඇසි යුත්තේ මෙවැනි නින්දිත මර්දනකාරී ආණ්ඩු විසින් ගෙන ගිය ප්‍රතිපත්ති නැවත සුදු රෙදි පොරවා නීති පොත්වලට ඇතුළත් කිරීමට දරන නින්දිත උත්සාහය දකින විට ය.

මෙම සාකච්ඡා සඳහා කමිටු සාමාජිකයන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ, නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ සාලිය පීරිස් මෙන් ම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් ද එක් වී සිටියා.

ශ්‍රී ලංකාව 1979 දී තාවකාලික පියවරක් ලෙස හඳුන්වා දුන් මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර හතරකට පසු ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලට මුහුණ දීම සඳහා ස්ථිර නීතියක් බවට පත් කළ අතර එතැන් පටන් මෙම පනත දඩ මීමා කර ගනිමින් සිවිල් වැසියන් හා මාධ්‍යවේදීන් වැනි ත්‍රස්තවාදී නොවන අයවලුන් ද දේශපාලන පළි ගැනීම් ආදිය සඳහා අත්අඩංගුවට ගෙන රඳවා තිබූ බව අප අමතක කළ යුතු නැහැ.

Author

Related Posts