සමහර පළාත් පාලන ආයතනවල බලය හිතා මතාම අත හැරි බව කේ.ඩී ලාල්කාන්ත පවසනවා.
රට තුළ මහජන නැගිටීමක් සිදු වී ජනතාව සමාජ පරිවර්තනය යුගයක් තුල අප ඉන්නා නමුත් විපක්ෂය ඒ සඳහා නවීකරණය වී ඇති බවක් නොපෙනෙන බව ඔහු සඳහන් කළා. ප්‍රශ්න විසඳීමට අවශ්‍ය කටයුතු සඳහා රජය විසින් අඛණ්ඩව ක්‍රියා කරන බවත් ඒ තුළ යම් ප්‍රශ්න ඇතත් ඒ ප්‍රශ්නද රජය විසඳන බව ඔහු සඳහන් කළා.
විපක්ෂය ජනතාවට යමක් කීමට අවශ්‍ය නිසා තවමත් පරණ මෝඩ තාලේ ඒවා කියමින් සහ විවිධ බොරු ප්‍රකාශ කරමින් ඉන්නා බව ද ඔහු ප්‍රකාශ කළා. පළාත් පාලන ආයනතන වල බලය පිහිටුවීමේදී ආණ්ඩුව සිටින ස්ථාවරය තුළ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ පක්ෂ ලෙස සම්බන්ධ කර නොගන්නා බව ඔහු ප්‍රකාශ කළා. නමුත් යම් පක්ෂ ප්‍රමාණයක් පක්ෂ ලෙස සම්බන්ධ කර ගන්නා බව පවසමින් ඔහු සඳහන් කළේ නුවර එළිය දිස්ත්‍රික්කයේ බලය පිහිටුවීමේදී තොණ්ඩමන්ලා සම්බන්ධ කරගත් බවයි.
අනෙක් තැන් බලය පිහිටුවීමේදී ඒ ඒ පක්ෂ වල මන්ත්‍රීවරු ස්වාධීනව ජාතික ජන බලවේගයට සහය දෙන්නේ නම් ඒ සහය ගන්නා අතර ඒවා පක්ෂ ලෙස සම්බන්ධ කර නොගන්න බව සඳහන් කළා. ඉන් නොනැවතී ස්වාධීන වන මන්ත්‍රීවරු සම්බන්ධවද සොයා බැලීමක් සිදු කරන අතර එය යම් ජනතා විරෝධයක් මතුවන මට්ටමක ඇත්නම් එම සහයෝගය නොගන්න බවද ලාල්කාන්ත පැවසුවා. එලෙස නොගත යුතු නිසා සමහර සභා වල බලය අත හැර ඇති බවත් එලෙස ඕනෑම කෙනෙක් ගන්නේ නම් තවත් සභා කීපයකම බලය අත් කර ගැනීමට හැකියාව තිබු බව ඔහු සඳහන් කරයි.
එසේම ජාතික ජනබලවේගය අපි පසුගිය කාලයේ ගොඩ නගා පුළුල් කරමින් පැමිණි අතර එලෙස පුළුල් කිරීම නවතා නැති බව පවසමින් ඔහු සඳහන් කළේ වෙනත් පක්ෂ වල අය මන්ත්‍රී වරු මන්ත්‍රී ධූරය සමග පැමිණියහොත් ඒ අය ගන්නා බවයි. NPPය පුළුල් කිරීමේ කටයුතු අවසන් කර ඇතිබවට දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරු සිතන්නේ නම් එය එසේ නොවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
ලංකාව ආර්ථිකය, සංස්කෘතිය සහ සමාජමය වශයෙනුත් කඩා වැටුණු රටක් නිසා ආණ්ඩුව මේ ගත කරන්නේ ඒ කඩා වැටුණු තැන සිට හොඳ තැනට ගෙනියන අතරමැදි කාලය බව අමාතයවරයා සඳහන් කළා.
