පුද්ගලික අංශයේ පඩි කපන හාම්පුතුන් පිනවන පනත ජුනි 30 වැනිදා පාර්ලිමේන්තුවට! විරුද්ධ වෙන්නැයි සියලු මන්ත්‍රීන්ගෙන් ඉල්ලයි

ජිමුත් ඉඳුසර රත්නායක

පෞද්ගලික අංශයේ සේවකයන්ට ඇති අයිතියක් වන අයවැය සහන දීමනාව අහෝසි කර දැමීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය ජුනි 30 වැනිදා පාර්ලිමේන්තුවේදී විභායට ගැනීමට නියමිතයි.

කෙසේ නමුත් මෙම දීමනාව අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පත් දෙකක් 2025 ජුනි 03 වන දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. මෙම කෙටුම්පතෙහි 2 වන වගන්තියේ සඳහන් වන්නේ “මෙම වගන්තිය මගින් සේවකයන්ගේ අයවැය සහන දීමනා පනතේ 3 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර සංශෝධිත පරිදි එම වගන්තියේ බලපෑම වනුයේ 2025 මාර්තු 31 දින සිට බල පවත්වන පරිදි අයවැය සහන දීමනා ගෙවීම නැවැත්වීම ය.” ලෙසයි.

2005 වර්ෂයේ දී සම්මත කරන ලද අංක 36 දරන අයවැය සහන දීමනා පනත මගින් මාසික වැටුප රු. 20,000 ට අඩු වැටුපක් ලබන පුද්ගලික අංශ සේවකයින්ට රුපියල් 1000 ක් වන ලෙස හා සහ 2016 අංක 4 දරන අයවැය සහන දීමනා පනත මගින් රු. 40,000 ට අඩු වැටුපක් ලබා ගන්නා සේවකයින් සඳහා රුපියල් 2500 ක් වන ලෙස සහන දීමනාවක් සේවා හිමියන් විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වන අතර, මෙසේ ගෙවනු ලබන රු. 3500 ක දීමනාව ගැන වෙනම ලේඛනයක් ද පවත්වා ගත යුතු බවත් සේවක වැටුප් පත්‍රිකාවේ ඒ පිළිබඳ ව වෙන ම සඳහන් කළ යුතු බවත් එම පනත්වල සඳහන් වනවා.

මෙසේ දීමනා ගෙවීම සඳහා නියෝග කිරීම සඳහා හේතු ලෙස දක්වා ඇත්තේ සේවා යෝජකයින් විසින් කිසිදු දීමනාවක් සේවකයන්ට නො ගෙවා එම දීමනාව වැටුපේ අන්තර්ගත ව ඇතැයි ප්‍රකාශ කිරීම වළක්වා ගැනීම සඳහා වන අතර මෙම දීමනාව ලැබෙනවා ද යන්න වැටුප් පත්‍රිකාවෙන් බලා ගත හැකි බව හා එසේ නොගෙවන්නේ නම් කම්කරු කාර්යාලයට පැමිණිලි කිරීමෙන් හිඟ වැටුප් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මීට අමතරව මෙදින ම ඉහත අයවැය දීමනාව සමග දැනට පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප වන රු. 21000 ක වැටුප 2025 අප්‍රේල් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රු. 27000 දක්වා වැඩි කිරීම සඳහා පනතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් වාණිජ හා කාර්මික සේවක සංගමය ප්‍රකාශ කර සිටියේ තම සංගමය විසින් අයවැය සහන දීමනා කප්පාදු කිරීමේ මෙම පනත්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවත්, ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කරමින් මෙම පනත් අහෝසි කරනවා වෙනුවට ඒවායේ සඳහන් දීමනාව ගෙවීමේ උපරිම සීමාව රු. 70000 දක්වා වැඩි කරන ලෙස ද ඉල්ලා සිටි බවයි.

ජනාධිපතිවරයා වෙත යවන ලද එම ලිපියේ,


“ඔබගේ රජය විසින් 2005 සහ 2016 අයවැය සහන දීමනා පනත් අහෝසි කිරීම සඳහා සහ අවම වැටුප සංශෝධනය කිරීමට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් තුන මගින් අවම වැටුප් සංකල්පය සහ සහන දීමනා සංකල්පය ඒකාබද්ධ කිරීම සඳහා සේවායෝජකයින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ඔවුන්ගේ පාර්ශවය ගැනීමකි.

ඒ වෙනුවට, අපගේ ඡන්දයෙන් බලයට පැමිණි ඔබගේ රජය අපගේ වැටුප් කපා දමමින්, අපගේ පවුල් පෝෂණය කිරීමට අරගල කරන අතරතුර පවා ලාභ උපයන සේවා යෝජකයින් තව තවත් පොහොසත් කිරීමට ඔවුන්ට සහන සපයයි.” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ බව එම සංගමය විසින් ප්‍රකාශ කර සිටියා.

මෙම පනත අහෝසි කිරීම මුළුමනින් ම පාහේ බලපානු ලබන්නේ රු.27000 සිට රු. 40000 දක්වා මූලික වැටුප් ලබන සේවකයින්ට වන අතර, ඔවුන්ගේ වැටුප් වැඩි කරනවා වෙනුවට මෙම පනත් මගින් ඔවුන්ගේ වර්තමාන වැටුප් ද කප්පාදු කරන බව හා අධික ලෙස ඉහල යන ජීවන වියදම හමුවේ අවම වැටුප රු. 60000 ක් විය යුතු බව මහ බැංකුව ම පවසන මෙවන් අවධියක මෙසේ සේවක වැටුප් කප්පාදු කිරීම ආණ්ඩුවට ඡන්දය දුන් සේවකයන් පාවා දීමක් ලෙස දක්වන එම සංගමය මෙම වැටුප් මංකොල්ලය සඳහා ඉඩ නො දෙන ලෙසත්, මෙම පනත් සංශෝධනවලට විරුද්ධව ඡන්දය භාවිතා කරන ලෙස ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට බල කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Author

Related Posts