බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ බහුතරය ඉන්නේ තමන්ට බවත්, විපක්ෂය පරාජය දරාගන්න බැරිව ඝෝෂා කර ඇති බවත්, රහසිගතව ඡන්දය පැවැත්විය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබෙනවා. බණ්ඩාරගම ගැටුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ කීවා.
“පැහැදිලි බහුතරයක් ජාතිකජන බලවේගයට ඉන්නවා, ඒකට පරාජය දරාගන්න බැරි කට්ටිය සභාවේ ඝෝෂාකාරීව හැසිරිලා, සභාව තියාගන්න බැරි තත්වයකට පත් කළා. ඒකෙන් වෙන්නෙ දවසින් දවස සභාව කල් යන එක. මෙතන බහුතරයක් ඉන්නේ අපිට. හෘද සාක්ෂියට අනුව රහසිගතව ඡන්දය තිය්න්න අවස්ථාව දෙන්න ඕනේ. සමහර මන්ත්‍රීවරු මෙතන ප්රචණ්ඩාකාරිව හැසිරිලා. සභාව කල් තිබ්බා”
කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ, විපක්ෂයේ පක්ෂ 7ම රහස් ඡන්දයට විරුද්ධ වූ බව. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්‍රීධුර 16ක් පවතී. එක්සත් ජාතික පක්ෂයට 2ක්, සමගි ජන බවේගයට 7ක්, පොදුජන පෙරමුණට 3ක්, පොදුජන එක්සත් පෙරමුණට 4ක්, විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට 1ක් සහ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයට 1ක් වශයෙන් ආසන බෙදී පවතිනවා. මෙම පළාත් පාලන ආයතනයෙහි කිසිදු මන්ත්‍රීවරයෙකු ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත් වී නැහැ. ඒ අනුව ජාතික ජන බලවේගය විසින් දූෂිත ලෙස හැඳින්වූ පක්ෂවලට ආසන 18ක් පවතින අතර, ජාතික ජන බලවේගයට ඇත්තේ ආසන 16ක් පමණයි.
ඒ අනුව ජාතික ජන බලවේගය මෙම කණ්ඩායම් අතරින් කණ්ඩායම් එකක හෝ කිහිපයක සහයෝගය ලබාගෙන තිබෙන බවත්, ඒ බව පෙන්වීමට අකමැති නිසා රහසිගත ඡන්දයක් ඉල්ලන්නට ඇති බවත් පෙනී යනවා. මීට පෙර ආයතන කිහිපයක ප්‍රසිද්ධියේම ජාතික ජන බලවේගය විසින් දූෂිතයැයි කී කණ්ඩායම්වල සහයෝගය ලබාගත් නමුත්, එසේ සහයෝගය ලබාගැනීම පිළිබඳ ජාතික ජන බලවේගයට විවේචන එල්ල වුණා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙසේ අදහස් දක්වා තිබුණා.
“කොමසාරිත්තුමිය ඒකපාර්ශ්විකව තීන්දුවක් ගන්න ගියා. අපි පොදු විපක්ෂයේ හැටියට පක්ෂ 7ක් තියෙනවා. හතම ඒ යෝජනාවට විරුද්ධ වුණා. එතුමියට බැරි වුණා, එතුමියගේ යොජනාව කොළබ කරා වගේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එතුමියට බලය පවත්වන්න බැරි වුණා. ඒ නිසා එතුමිය කණගාටුව ප්‍රකාශ කරලා ගියා. අපි පක්ෂ හතක් එතුමියටකිව්වා රහස් ඡන්දයකට යන්න එපා කියලා, එතුමිය කිව්වා රහස් ඡන්දයකට යන්නේ නැහැ කුසපත් අදිනවා කියලා, කුසප අදින වැඩසටහනත් අක්‍රිය වුණා, පස්සෙ එතුමිය මේක කල් දාලා ගියා. සාරංගිකා තියරිය එයා කොළඹට දැම්මා බණ්ඩාරගමට ඒක දාන්න බැරි වුණා.”
