හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු විභාගයක දී විත්තිකරු රෝගීව සිටි බව දක්වා අධිකරණයට ව්‍යාජ ලිපි ශීර්ෂයකින් වෛද්‍ය සහතිකයන් නිකුත් කළ වෛද්යව ආර්.පී.කේ. චන්දන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මහාධිකරණයට දන්වා තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙණෙවිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි එහි නීති නිලධාරිනී උදාරී රණතුංග මහත්මිය මේ බව ප්‍රකාශ කළා.
මහාධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව හා එකී පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව එකී වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාරී රණතුංග කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය එකී විමර්ශනවලින් අනතුරුව ගනු ලබන විනය පියවර කුමක්දැයි වාර්තා කරන ලෙසට නියෝග කළා.
වෛද්‍ය සභාව වෙනුවෙන් එහි නීති නිලධාරිනිය කරුණු දක්වමින් ආර්.පී.කේ. චන්දන නමැති මෙම වෛද්‍යවරයා 2010 වසරේ ජනවාරි 5 දා එස්එල්එම්සී 25363 යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති බව කියා සිටියා.
ඔහුට එරෙහිව සිය රෝහලේ ලිපි ශීර්ෂය අවභාවිත කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක අධ්යක්ෂවරයකු වෛද්‍ය සභාවට පැමිණිල්ලක් යොමුකර ඇති බව එම නීතිඥවරිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූ අතර අදාළ වෛද්‍යවරයා එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු නොවන බවට රෝහල පෙන්වාදී තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීති රීතිවලට අනුව දිවුරුම් පෙත්සමක් සහිතව එම පැමිණිල්ල ඉදිරිපත්ව තිබෙන බැවින් එය විභාග කිරීමට වෛද්‍ය සභාවේ ප්‍රාථමික විනය කමිටුව තීරණය කර ඇති බව නීතිඥවරිය ප්‍රකාශ කළා.
අධිකරණ නියෝග හා පැමිණිල්ලක් අනුව පරීක්ෂණයක් ආරම්භව ඇති බවට වෛද්‍ය සභාව කළ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය එම කමිටුවේ නිගමන අධිකරණයට දන්වන ලෙස නියෝග කළා.
එහි දී අදාළ වෛද්‍යවරයා විනයානුකූල පියවර ගතයුතු වරදක් කර තිබේද? එසේනම් ඔහු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ගන්නා පියවර කුමක්ද යන්න අධිකරණයට දන්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නීති නිලධාරිනියට නියෝග කර තිබෙනවා.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
එම නඩුවේ පැමිණිල්ල වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි 30 වන දා දක්වා කල්තැබීමට ද විනිසුරුවරිය නියෝග කළා.
