ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් අද (24) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම හමුවේදී, දැනට බැංකු ක්ෂේත්රය තුළ පවතින විවිධ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒවාට යෝග්‍ය විසඳුම් ලබාදීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් අනුව, මෙම ගැටළු ප්‍රතිපත්තිමය ආකෘතියකින් විසඳා ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර ඇත.
ඒ අවස්ථාවට එක්ව සිටියේ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක, ලේකම් රන්ජන් සේනානායක, ජ්‍යෙෂ්ට උප සභාපති අනුප නන්දුල ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙන්ම ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා සහ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතාය.
පසුගිය කාලය තුළ ලංකා බැංකු සේවක සංගමය රාජ්‍ය බැංකු කේෂේත්රය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්වයන් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හට දිගින් දිගටම ලිඛිතව දැනුම් දෙමින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඒ අනුව සංගමයේ ක්‍රියාකාරී නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය ජූනි 12 දින සන්දේශයක් භාර දීමද සිදු කරන ලදී.
