හම්බන්තොට සමගියට යද්දී මාතලේ මාලිමාවට

මාතලේ මහා නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටචි මහතා චන්ද 12ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර එහි උප සභාපතිි ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා නිතරගයෙන් තෙරපත්ව තිබෙනවා.

මාතලේ මහා නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගිත්වයෙන් නගරාධිපතිවරයකු හා උප නගරාධිපතිවරයකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්වුණා.

ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටතට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව සභාවේ ඝන පූර්ණය සිටින බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්දය පැවැත්වා තිබෙනවා.

එහිදී නගරාධිපති හා උප නගරාධිපති තෝරා පත් කර ගැනීම සිදුවූ බවයි වාර්තා වන්නේ.

සභාව වර්ජනය කළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන පනතට පටහැනිව සභික ධූරයක් දැරීමට නොහැකි මන්ත්‍රීවරියක් සභාවේ සිටින බැවින් ඇයට විරුද්ධව ඔවුන් සභාවෙන් පිටව යන බවත් මෙම ඡන්ද විමසීම නීති විරෝධී යැයි බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමේදී මාතලේ මහා නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 10ක් හිමිව තිබුණා.

මීට අමතරව, සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 06ක්, කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ආසන 02ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසනයක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසනයක්, සර්වජන බලය පක්ෂයට මන්ත්‍රී ආසනයක් සහ එක්සත් ජාතික සන්ධානයට මන්ත්‍රී ආසනයක් ලෙස පළාත් පාලන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කර තිබුණා.

එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණා.

එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත්තා.

Author

Related Posts