එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා, ශ්රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත අතර
ඒ මහතා 2025 ජුනි 23 සිට 26 දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටිනු ඇත. 2016 න් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයකු ශ්රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.
මෙම සංචාරය අතරතුරදී වොල්කර් ටර්ක් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිතව ඇත. ඒ සමඟම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යවරයා, මෙන්ම කැබිනට් අමාත්යවරු, පාර්ලිමේන්තු මන්ත්රීවරු, ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන්, ආගමික නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්ය තාන්ත්රිකයන් සමඟද හමුවීම් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මහ කොමසාරිස්වරයා ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම සමඟද විශේෂ සාකච්ඡාවකට පැවැත්වීමට නියමිතය.
සංචාරයේ අතරතුර ඔහු යාපනය සහ ත්රිකුණාමලය ඇතුළු උතුරු නැගෙනහිර සංචාරය නිරත වීමටද සැලසුම් කර ඇති අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් සමග හමුවීම් කිහිපයකටද එක්වනු ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය පවසා ඇත.
