සිරියාවේ ඩමස්කස් නගරයේ ග්‍රීක ඔර්තොඩොක්ස් පල්ලියකදී ඊයේ (22) සිදු කළ වෙඩි තැබීමකින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 65 දෙනෙකු තුවාල ලබා ඇත.
සිරියානු රජය පවසන්නේ මෙම ප්‍රහාරයට ISIS සංවිධානය සම්බන්ධ බවයි.
සිරියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට අනුව, ඉරිදා සවස ඩ්වෙයිලා ආසන්නයේ ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයේ දේව මෙහෙයක් අතරතුර පුද්ගලයෙකු ආයුධයකින් වෙඩි තබා, පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරකයා ජිහාඩ්වාදී කණ්ඩායමක් වන IS සමඟ සම්බන්ධ පුද්ගලයෙක් බවත් එහි සඳහන් විය. නමුත් ඔවුන් මෙතෙක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු සිරියානු අගනුවර මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් සිදු වූ පළමු අවස්ථාව මෙය වන අතර 2011 සිවිල් යුද්ධයෙන් පසු සිරියාවේ පල්ලියක් තුළ මෙවැනි පිපිරීමක් සිදු වූ පළමු අවස්ථාව ද මෙය බව වාර්තා වේ.
පිපිරීම සිදු වන අවස්ථාවේ පල්ලිය තුළ ළමයින් සහ වැඩිහිටියන් ඇතුළු බැතිමතුන් බොහෝ පිරිසක් සිට ඇති අතර ලේ විලක් මැද ඥාතීන් අතුරුදහන් ව ඇති තම ස්මිපතයන් සොයමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපද විශේෂ නියෝජිත ටොම් බැරැක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ඔහු සඳහන් කරන ආකාරයට වොෂින්ටනය “තම රට තුළ සහ පුළුල් කලාපයේ අස්ථාවරත්වය සහ භීතිය ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව සටන් කරන විට” සිරියාවට සහාය දක්වන බවයි.
එසේම, ප්‍රංශ විදේශ අමාත්‍යාංශය විසින් “සිරියාවේ පරිවර්තනයක් සඳහා ලබා දිය හැකි සහය පිළිබඳව සඳහන් කර ඇති අතර, එමඟින් සිරියානුවන්ට ඔවුන්ගේ ආගම කුමක් වුවත්, නිදහස්, එක්සත්, බහුත්වවාදී, සමෘද්ධිමත්, ස්ථාවර සහ ස්වෛරී” රටක සාමයෙන් හා ආරක්ෂාවෙන් ජීවත් වීමට ඉඩ සලසන බවයි.
කෙසේ වුවද, සිරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ “ජාතික සහජීවනය අඩපණ කිරීමට සහ රට අස්ථාවර කිරීමට ගත් මංමුලා සහගත උත්සාහයක්” ලෙසයි.
මෙවැනි ප්‍රහාර තවමත් අපරාධ කරුවන් සොයාගැනීමට අසමත් ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සිහි ගන්වයි.
