උපුල්ද? ලාල්ද? කැටිපෙද? වෙන කෙනෙක්ද? පාර්ලිමේන්තු පුරප්පාඩුවට නමක් එවන්නැයි මාලිමාවට දැනුම් දෙයි!

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා නමක් යෝජනා කර එවන ලෙස ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ වෙත මැතිවරණ කොමිසම දැනුම් දීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ දැනට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට පසු ඇති නාමයන් අතර රංගන ශිල්පිනී චමිලා පීරිස්, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ සහ මේ වන විට කඩුවල මහනගර සභාවේ නගරාධිපතිවරයා වන රන්ජන් ජයලාල්ගේ නම් ඇත. කෙසේ වෙතත් එම පුද්ගලයෙන් අතරින් කෙනෙකු වෙනුවට මහමැතිවරණයේදී තේරී පත් නොවූ පුද්ගලයෙකු හෝ වෙනත් අයෙකු පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇත.

හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, අධිනීතිඥ ලාල් විජේනායක සහ විමල් කැටිපෙආරච්චි යන අයගේ නම් යෝජනා වී තිබේ.

විමල් කැටිපෙආරච්චි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා පුවත්පතට මෙන්ම කලෙක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ජනරළ පුවත්පතේද සේවය කළ අයෙකි. පසුව යහපාලන ආණ්ඩුව තෝරා පත් කර ගැනීමේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගීත පවා ලියූ ඔහු එම ආණ්ඩුව සමයේදී ස්වාධීන රූපවාහිනී සේවයේද කටයුතු කළේය. කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය පිහිටවීමෙන් පසු එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඔහු විශාල කාර්යභාරක් කර ඇත. අරගලය අවස්ථාවේ එයටද ඉතා ක්‍රියාකාරීව දායක වෙමින් සක්‍රීයව සිටි ඔහු ජාතික ජන බලවේගයට දැඩි පක්ෂපාතීත්වයක් පසුව දැක්වීය. කැටිපෙආරච්චි තරුණ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රබල කථිකයෙකි. රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වීම ඇතුළු ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතුවලට සුදුසු මන්ත්‍රීවරයෙකු විය හැක.

ලාල් විජේනායක මහතා ලංකා සමසමාජ පක්ෂයේ සිටි ප්‍රබල විද්වතෙකි. දීර්ඝ කාලයක් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 වැනි සංශෝධනය ඇතුළු කටයුතුවලට මැදිහත් වූ ප්‍රකට විද්වතෙකු වන ඔහු ජාතික ජන බලවේගය ආරම්භ වූ සමයේ සිට එහි විශාල කාර්යභාරයක් ඉසිලූ විද්වතෙකු විය. කෙසේ වෙතත් ඔහු මේ වන විට වයස අවුරුදු අසූවක පමණ විද්වතෙකි. ඔහු වැදගත් වනුයේ ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට දායක වීමේ බලාපොරොත්තුවක් තිබෙන්නේ නම්ය. ඔහු 2015 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ ප්‍රධානියා විය. වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එහි සාමාජිකාවක වූවාය.

උපුල් කුමරප්පෙරුම මේ තිදෙනා අතරින් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගත හැකි පුද්ගලයාය. ඔහු ජාතික ජන බලවේගය බිහි කිරීමට විශාලම කාර්යභාරයක් කළ පුද්ගලයෙකු වන අතර, ජාතික ජන බලවේගයේ අතිශය ප්‍රබලයන් ගණනාවක් එකතු කරගැනීමට පියවර ගත්තේය. ඔහුගේ නිවසෙහි ජාතික ජන බලවේගය බිහිකිරීම උදෙසා ප්‍රධාන සාකච්ඡා වට රැසක් පැවැත්වීය. ඔහු වසර කිහිපයකට පෙර වත්මන් ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කළ අතර බොහෝ පිරිස්වලට අනුර කුමාර දිසානායක මහතාව හඳුන්වාදීමට පියවර ගත්තේය.

Author

Related Posts