පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සඳහා ආහාර සඳහා අය කරන මිල ජූලි 1 වැනිදා සිට අඩු කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින්, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වූ රැස්වීමකදී, කාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
මේ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් මසකට ආහාර සඳහා අය කරනු ලබන රුපියල් 4000 ක මුදල, රුපියල් 3000 දක්වා අඩු කර තිබේ. එසේම, විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් අය කරනු ලබන මාසික ආහාර ගාස්තුව, පෙර අය කළ රුපියල් 2500 රුපියල් 2000 දක්වා පහළ දමා තිබේ.
නමුත් මන්ත්‍රීවරුන්ගේ රියැදුරන්, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයින්, සහ මාධ්‍යවේදීන්ගෙන් දැනටමත් අය කරනු ලබන ආහාර ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොකර පවතින මිලම පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත.
පසුගිය ජනවාරි මාසයේදී 2025 පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර මිලගණන් වෙනස් කරනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගාස්තු රුපියල් 2,000 දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල කාරක සභාව තීරණය කරනු ලැබුවා.
ඒ අනුව, පාර්ලිමේන්තු ආපන ශාලාවේ උදෑසන ආහාරය සඳහා මිල රුපියල් 100 සිට රුපියල් 600 ක් දක්වාද, රුපියල් 300කව පැවති දිවා ආහාරය රුපියල් 1,200 දක්වා ද, තේ සහ කෙටි කෑම සඳහා රුපියල් 50 සිට රුපියල් 200 ක් දක්වාද වැඩි කරනු ලැබුවා.
