අදහස් මර්දනයට නීතිපතිත් සීඅයිඩී ගිහින්ලු!

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත උසස්වීම් කිහිපයක් පිළිබඳ අදහස් පළ කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශනය කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට බාර දී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

පුවත්පත් වාර්තාවේ සඳහන් වෙන විදියට මෙම පැමිණිල්ල කර තිබෙන්නේ සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ට් කිහිපයක් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් නීතිපතිවරයා වෙත කළ පැමිණිලි මත. නීතිපති දෙපාර්තමේන්තුවේ උසස්වීම් අපේක්ෂා කරන නිලධාරීන් පිළිබඳ පළ වූ අදහස් පිළිබඳ මෙසේ විමර්ශනය කරන ලෙස දැනුම් දී තිබෙනවා. 

සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සදහන් ආකාරයට එක සිදුවීමක් වන්නේ ටීඑම්වීපී පක්ෂයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවේ ඔහුට පක්ෂපාතී ලෙස නිලධරියෙකු ක්‍රියා කළ බවට පළ වූ අදහස් දැක්වීමක්. තවත් සිදුවීමක් වන්නේ දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ නඩුවකදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහභාගී වීම වළක්වමින් වෙනත් කනිෂ්ඨ නිලධරියෙකු නීතිපතිවරයාගේ මැදිහත්වීම මත යැවීමට උත්සාහ කළායැයි එල්ල වූ චෝදනාවක්. 

සමාජ මාධ්‍ය හරහා නීතිපතිවරයා විසින් මීට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමේ උත්සාහය හෙළිදරව් කළා. ඊට අමතරව මහර ඝාතන නඩුවේ සහ සැකකරුවෙකු දණගස්වා මුහුණට වෙඩි තබා ඝාතනය කළ සිදුවීමක සැකකරුවන්ට එරෙහිව නඩු නොපවරා නිදහස් කිරීමට මැදිහත් වුණා. මෙවැනි සිදුවීම්වලට එරෙහිව නීතිපතිවරයා ඍජු විවේචනවලට ලක් වූ අතර, ඔහු ඉල්ලා අස්විය යුතු බවටද චෝදනා එල්ල වුණා.  

පුද්ගලයන්ට පිළිබඳ අදහස් දැක්වීම්වලට එරෙහිව විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගැනීම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී බරපතල ලෙස සිදු වුණා. එයට එරෙහිව දැඩි විවේචන එල්ල වුණා. කෙසේ වෙතත්, වත්මන් රජය යටතේද එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ වුවමනා මත අපහාස විමර්ශන සිදු කරවාගැනීමේ ප්‍රවණතාව පවත්වාගෙන යනු ලබනවා. 

Author

Related Posts