නලින් ප්‍රනාන්දු සතොසට බාර් ලයිසන් ගත්තේ කවුරු වෙනුවෙන්ද? 

මේ වන විට කැරම් බෝඩ් වංචාවට දඬුවම් ලබා සිටින අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ පාලන සමයේදී සතොස මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නිකුත් කිරීමට බව කියමින්, එක් බලපත්‍රයකට රුපියල් විසිපහන්දහස බැගින් අය කරගත් නිලධාරියෙකු පිිළිබඳ ලංකා සතොස ලිමිටඩ් සමාගම පිළිබඳ 2023 වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙනවා. 

නීතිවිරෝධී ලෙස මෙලෙස ගෙවීම් කර තිබෙන අතර, මේ ආකාරයට සතොස සමාගමට මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබා දුන්නේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුට සතොස වෙළඳසැල් ජාලය විකිණීමේ අරමුණින් බව සැක කරනවා. 

විගණකාධිපති වාර්තාවේ මේ විදියට සඳහන් වෙනවා. 

‘සමාගම විසින් පවත්වාගෙන යන රට බීම අලෙවිසැල් බලපත්‍ර ලබාගැනීම සඳහා උපදේශකයෙකු පත් කර තිබුණි. චක්‍රලේඛය ප්‍රකාරව මෙවැනි සේවයක් දින 90ක් නොඉක්මවන කෙටිකාලීන පදනමක් මත හදිසි සේවයක් ලෙස ලබා ගත යුතු අතර රු. 150,000ක් වූ උපරිම දීමනාව අදාල කාර්යය නිම වූ පසු අමාත්‍යාංශ ලේකම්ගේ පෞද්ගලික අනුමැතිය මත ගෙවිය යුතුය. එසේ වුවද චක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත මාසිකව රු. 100,000ක දීමනාවක්ද අනියම් දීමනා සහ ලබාගන්නා මත්පැන් අලෙවි බලපත්‍රයක් සඳහා රු. 25,000 ක දීමනාවක්ද භාණ්ඩාගාර අනුමැතියකින් තොරව එම උපදේශකවරයාට ගෙවා තිබුණි. ඒ අනුව චක්‍රලේඛ විධානයන්ට පටහැනිව 2022 ජුනි සිට 2024 මැයි දක්වා රු. 3,496,789ක මුදලක් ගෙවා තිබුණි. තවද මෙම උපදේශකවරයාගේ සේවය අවස්ථා 6කදී දීර්ඝ කර තිබූ අතර ඒ සඳහාද භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි.‘ 

ඒ අනුව මෙම නිලධාරියාට මුදල් ගෙවලා තියෙන්නේ 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරණ රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 6.2 හා 6.4 ඡේද අවභාවිත කරලා බව විගණකාධිපති වාර්තාවේ සඳහන් කර තිබෙනවා. 

ලංකා සතොස අලෙවිසැල් 300ක මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු යටතේ සතොස සමාගමට මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබා දීමට 2022 නොවැම්බර් මාසයේදී තීන්දු කර තිබුණා. සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළඳසැල්වලට මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබාදීමට තීන්දු කර තිබුණු නමුත් ඇතැම් තැන්වල එයට විරෝධතා එල්ලවීමත්, ඇතැම් ස්ථානවල සුදුසුකම් සපුරා නොතිබීමත් බාධා ලෙස ඒ දිනවලදී මාධ්‍යවලින් වාර්තා කළා. 

ඒ අතරම සතොස සමාගම පුද්ගලික අංශයට විකිණීමටද ආණ්ඩුව සැලසුම් කර තිබුණා. සතොස සමාගම සමඟ ගැටගැසී ඇති අනෙක් සංස්ථාව වන සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් ඉවත් කොට එහි ඇති දේපළ විකුණා දැමීමටද පියවර ගනු ලැබුවා. 2023 සැප්තැම්බර් මාසයේදී සතොස සංස්ථාව ඈවර කිරීමට තීන්දුව ගෙන තිබුණා. එයින් පසු සතොස සමාගම යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථා සතු දේපළ විකිණීමට පටන් ගෙන තිබුණා. එහිදී විකුණූ ලොරි 51ක් අතරින් 43ක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලට ගෙන තිබුණු බවද එම ආයතනයට අදාල විගණකාධිපති වාර්තාවේ සඳහන් වුණා. ඒ ආකාරයට විකිණීමට නියමිත වූ සතොස සමාගමට බාර් ලයිසන් ලබා දීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වූ කරුණක් වුණා. 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය 2024 මැයි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ එදින වන විට රජය විසින් ලබා දී ඇති මත්පැන් අලෙවිසැල් බලපත්‍ර 37න් 16ක්ම සතොස අලෙවිසැල් වෙත ලබා දුන් බවයි. මේ අතර 2024 මැයි මාසයේදී වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ චෝදනා කළේ, සතොස සමාගම සතුව ඒ වන විට තිබුණු මත්පැන් බලපත්‍ර 100න් 55ක්ම මෙන්ඩිස් සමාගමට ලබාදුන් බව චෝදනා කළා. 

මේ අතර 2024 වසරේදී ලබාදුන් සුරාබදු බලපත්‍ර අතර, දේශපාලන හිතවතුන්ට අල්ලස් ලෙස ලබාදුන් බලපත්‍රද පවතින බව පසුගිය දෙසැම්බර් මාසයේදී අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

Author

Related Posts