අනුර ආර්ථිකය බාරදුන් හර්ෂණ කවුද?

තරිඳු උඩුවරගෙදර

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන්ද ඉල්ලා අස් වී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය බාර ගැනීමට සූදානම් වීම විශාල කතාබහකට ලක්ව තිබෙනවා.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණ කටයුතුවල නව යුගයක් එයින් ඇරඹෙන්නට ඉඩ තිබෙනවා. මෙතෙක් මහින්ද සිරිවර්ධන නම් වූ රනිල් වික්‍රමසිංහගේ මුදල් අමාත්‍යාංශ ලේකම් සතු වූ මේ තීරණාත්මක පුටුවට අමුවෙන්ම ජාතික ජන බලවේගයේ කෙනෙක් පත් වන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

මේ සටහනේ අරමුණ මතවාදීව හර්ෂණ සූරියප්පෙරුමව විචාරයට ලක් කිරීම නොවෙයි. ඒ වෙනුවට ඔහු සිටින ස්ථාවරය කුමක්ද යන්න හැකි තරම් නිවී හැනහිල්ලේ විමසා බැලීමකුයි මෙය. අප ඔහුගේ අදහස් දැක්වීම්, දේශන සහ ඔහු විසින් කර ඇති ප්‍රකාශයන් විශාල ප්‍රමාණයක් අධ්‍යනය කිරීමෙන් පසු මෙම කෙටි සටහන ඉදිරිපත් කරනවා.

වත්මන් ආණ්ඩුව විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්ධුරය වාණිජ මණ්ඩලයටම ලබා දීමට මීට පෙර උත්සාහ කළා. එනම්, වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, ඒ අතරතුරේ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයෙකු ලෙසත් කටයුතු කළ දුමින්ද හුලංගමුවට එම තනතුර ලබා දීමට සලකා බැලුවා.

එහෙත් එයට ලිබරල්වාදී කඳවුරේ ප්‍රබල ප්‍රකාශකයෙක් වන හර්ෂ ද සිල්වා වැනි අයගෙන් පවා දැඩි විවේචන එල්ල වුණා. එවැනි පසුබිමක, ආණ්ඩුව හර්ෂණ සූරියප්පෙරුමව පත් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයෙකු ලෙස මෙතෙක් කාලයක් කටයුතු කළ දුමින්ද හුලංගමුව ඉදිරියේදීත් ආර්ථීකය පිළිබද තීන්දු තීරණ සඳහා මැදිහත් වේවි.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම නියෝජනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රවර්ධනය කරන, ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම රනිල් වික්‍රමසිංහ රජයත් අනුගමනය කරගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය වීම විශේෂත්වයක්. හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ අනුර කුමාර දිසානායක එම වැඩපිළිවෙල ඔස්සේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවයි.

ඇතැම් අය වත්මන් ආණ්ඩුව විවේචනයට ලක් කරද්දී දැඩිව කීවේ මේ ආණ්ඩුව ‘වාමාංශික ආණ්ඩුවක්‘ බව. විශේෂයෙන් එස්එල් ව්ලොග් වැනි මාධ්‍ය ආයතනවලින් මෙන්ම ඇතැම් විචාරකයන් පවා වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නවත්වනු ඇතැයි අනතුරු හැඟෙව්වා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන නවත්වනු ඇතැයි කීවා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ යන අනෙක් අපේක්ෂකයන් මෙන්ම අනුර කුමාර දිසානායක ආණ්ඩුවද ආර්ථිකය හැසිරවීමට එකම මොඩලයක් පාවිච්චි කරනු ඇතැයි සුළුතරයක් වූ පිරිස් පෙන්වා දුන්නා. එහෙත්, හර්ෂණ සූරියප්පෙරුම පැහැදිලිව නිරූපණය කරන්නේ වත්මන් ආණ්ඩුව තුළ සාමාන්‍ය නව ලිබරල් ආර්ථිකය පවත්වාගෙන යෑමට ඇති වුවමනාව.

හර්ෂණගේ අදහස් දැක්වීම් විශ්ලේෂණය කරන විට ඉතාම පැහැදිලිව ඔහුට ලිබරල්වාදයෙන් නිර්දිෂ්ඨ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ලිබරල්වාදයෙන් උගන්වන අන්දමට මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහ වොෂිංටන් එකඟතාවල ඇති අනෙකුත් නව ලිබරල් ඉගැන්වීම් අනුගමනය කිරීමට ඇති වුවමනාව පෙනෙන්නට තිබෙනවා.

ඔහු ඉතා පැහැදිළිවම ආර්ථික වර්ධනයේ ප්‍රධාන බලවේගය ලෙස පෞද්ගලික අංශය විශ්වාස කරන අතර, මූල්‍යමය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය බාරගන්නා කෙනෙක්. කෙසේ වෙතත් ඔහු ආර්ථිකය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රවල වර්ධනය බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය අංශයට අදාලව ඔහු රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් විකුණන්නේ නැතිව, රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරීත්වයන් ඇති කිරීමට යෝජනා කර තිබෙනවා.  ඔහු කියන්නේ මෙවැනි ආයතනය බාගයක් විකිණීම තුළින් ඒවායේ කාර්යක්ෂමතාව වැඩි වෙන බව. එමෙන්ම උපක්‍රමිකව වැදගත් ක්ෂේත්‍ර කාර්යක්ෂමව ආර්ථික වෘද්ධිය ළඟා කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි බව ඔහු කියනවා. ඊට අමතරව සමාජ සුභසාධනය ඉලක්කගත පිරිස් වෙත ලබා දිය යුතු බව පවසන ඔහු ආර්ථික වශයෙන් පීඩාවට පත් කොටස්වලට කඩිනම් සහන සැලසීමේ වැදගත්කම අවධාරණය කරනවා. හරිත මූල්‍යකරණය ගැන නව ප්‍රවණතාවලටත් ඔහු පක්ෂපාතීයි. අවම වැටුප් වර්ධනය ගැන කතා කරන අතරතුර ඔහු විදේශ ආයෝජන පිළිබඳත්, විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ වැඩි කිරීම ගැනත් අදහස් දක්වා තිබෙනවා. 

හර්ෂණ සූරියප්පෙරුමට ආචාර්ය උපාධිය තිබෙන්නේ ව්‍යාපාර සම්බන්ධීකරණ විෂයට අදාලවයි. ඔහු තියුණු දේශපාලන ආර්ථික විශ්ලේෂණයේ යෙදෙන්නෙකු ලෙස ප්‍රකට නැහැ. කෙසේ වෙතත් ඔහු ආර්ථික කළමණාකරණය පැත්තෙන් මෙන්ම ව්‍යාපාර කළමණාකරණය පැත්තෙනුත් ප්‍රාමාණික විද්වතෙකු විදියට හඳුන්වන්න පුලුවන්.

ඔහු පෞද්ගලික අංශයේ රැකියා ගණනක සේවය කළ කෙනෙක්. පසුකාලීනව ඔහු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආයතිනක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා වුණා. 2013 සිට 2021 දක්වා ඔහු එහි වැඩ කළා. එයින් පසු නැවත වතාවක් ඔහු පුද්ගලික අංශයේ දැවැන්ත සමාගම්වල කටයුතු කළ කෙනෙක් වුණා. 2022 දී ඔහු ජාතික ජන බලවේගය තුළ දක්නට ලැබුණා. 2024 ජනාධිපතිවරණය ආසන්නයේදී ජාතික ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ ප්‍රධානම ප්‍රකාශකකේ බවට ඔහු පත් වුණා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු ආර්ථිකය පිළිබඳ නියොජ්‍ය අමාත්‍යවරයෙකු බවට පත් වුණා.

රජය නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වූ කණ්ඩායමේ ඔහු සිටියේ අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ ජාතික ජන බලවේගයේ ප්‍රධානම ආර්ථිකය හසුරුවන පිරිස අතට එක්වෙමින්.

මෙය අවසාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන විය යුතුය යන්න ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මන්ත්‍රය වී තිබෙනවා. එහි ප්‍රධානම අපේක්ෂාව වන්නේ 2028 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම දීර්ඝ කර නොගෙන සිටීමයි. ශ්‍රී ලංකවේ ආර්ථික කඩාවැටීම නිසා මෙරට ස්වෛරීත්වය අහිමි වී තිබෙන බව ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් ඉදිරියේ කියා තිබුණා. කෙසේ වෙතත්, එහිදී ජනාධිපතිවරයාම කී කරුණු මෙන්ම මෑතකාලීනව ආණ්ඩුවේ නායකයන් තීරණාත්මක අවස්ථාවලදී දක්වා ඇති අදහස් මත පදනම්ව තේරුම්ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ආකෘතික වෙනස්කම් සිදු කිරිමේ අපේක්ෂාව රජයට තිබෙන බව. ජනාධිපතිවරයා පවා පිරිවැය ගැලපුම් මිලකරණය, ඉලක්කගත සහනාධාර ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති තමන්ගේත් ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් නොවෙන බව ජාතික ජන බලවේගයේ දේශපාලන නායකයන් නොකීවත්, වාණිජ මණ්ඩලය 2024 දී පැවැත්වූ ආර්ථික සමුළුවේදී මෙන්ම තවත් තැන් කිහිපයකදීම එම වැඩසහනෙන් ඉවත් නොවන බවට සහතික කළ පුද්ගලයන් අතර හර්ෂණ සූරියප්පෙරුම සිටිනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හෙට්ටු කරමින් ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදිය යුතු බව ඔහු කියා තිබෙනවා. විශේෂයෙන් මැතිවරණයට පෙර ඔහු කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හෙට්ටු කොට එම වැඩසටහනේ ඇති කරුණු වෙනස් කරවගන්නා බවයි. කෙසේ වෙතත්, බලයට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට පවා සහභාගී වුණත්, ඔහු මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස එවැන්නක් සිදු කිරීමට උත්සාහ කළේ නෑ.

ඔහු මැතිවරණයට පෙර මෙන්ම, ඔහු මුදල් අමාත්‍යවරයා ලෙසද මෙරටට පැමිණෙන ආයෝජකයන්ට පහසුකම් සැලසීම ගැන කතා කළා. විශේෂයෙන් අල්ලස් ලබාදෙමින්, විවිධ පෝළිම්වල රැඳෙමින් කටයුතු නොකර ආයෝජකයන්ට ලෙහෙසියෙන් ආයෝජනවලට පිවිසීමට පහසුකම් සැලසීම ගැන ඔහු කතා කළා. තනි දොරටුවකින් ආයෝජකයන්ට මෙරට ආයෝජනය කිරීමට ඉඩකඩ සැලසීම ගැන කීවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධානම පැත්ත විදියට ඔහු ඩිජිටල් සේවාවන් සැපයීම හඳුනාගන්නවා. මෙරට ඩේටා සෙන්ටර්ස් ඇති කිරීම ඇතුළු, සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයේ දියුණුවක් අත්පත් කරගැනීම ගැන ඔහු ඉහළින් කතා කරනවා. මෙයම ජනාධිපතිවරයාත් නිතර කතා කළ දෙයක්. ඊට අමතරව ඖෂධ, තේ, බලශක්තිය, මූල්‍ය සේවා සහ සංචාරක ක්ෂේත්‍රවල වර්ධනය ගැන ඔහු අවධානය යොමු කළා. ඒ අනුව ඔහු විවිධ ක්ෂේත්‍රවල පැතිර ගිය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව පේනවා.

පෙර කී පරිදි, රජය සතු සමාගම් සම්පූර්ණයෙන් පෞද්ගලිකකරණය කිරීමට කටයුතු නොකරන බව ඔහු පැහැදිලිව කියා තිබෙනවා. එහෙත්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් කරා රාජ්‍ය සම්පත් අර්ධ වශයෙන් පෞද්ගලිකකරණය කරන බවත් පැහැදිලිව කියා තිබෙනවා. විශේෂයෙන්ම විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය පිරිවැය ගැලපුම් මිලකරණයන්ට යොමු කිරීම ඔහු අනුදකිනවා. මීට අමතරව ලාභ ලැබීම අසීරු හෝ පෞද්ගලික අංශය අත නොගසන ක්ෂේත්‍රවල රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බව කියනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත් වීම, ජාතික ජන බලවේගය මැතිවරණය කලින් ඉඳලාම පොරොන්දු වූ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දොරටු විවර කිරීමක් වේවි. ජාතික ජන බලවේගය පැහැදිලිවම මෙතෙක් පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිම විශාල වෙනස්කම් නොමැතිව අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්, ඒ ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී දූෂණ විරෝධය, විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ අවංකභාවය මත සිදුකරන බව ඔවුන් පොරොන්දු වෙනවා. පෙර සිටි දූෂිත පාලකයන්ට වඩා ඔවුන් වෙනස් වන්නේ එතැනිනුයි. එනම්, අවංකභාවය අතිනුයි.

එහෙත්, අභියෝගයක් තිබෙනවා. ඇත්තටම පෙර පාලකයන් දූෂිත වන්නේ ඔවුන් කොමිස්, අල්ලස්, වංචා. අවභාවිතයන් සිදු කළ නිසා පමණක්ද? නැත්නම් ඔවුන් අනුගමනය කරපු ප්‍රතිපත්තිම දූෂිතද? අල්ලසින්, වංචාවෙන් තොරව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගත හැකිද?

හර්ෂණ සූරියප්පෙරුම මහතාට අනුර කුමාර දිසානායක සහ අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ එක්ව මුදල් අමත්‍යාංශය හරහා ඔප්පු කළ යුත්තේ එයයි.

Author

Related Posts