පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය නමින් සාකච්ඡාවක් ඊයේ (20) N.M. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන නියෝජිතයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ සඳහා සහභාගී වූ අතර ඊශ්‍රායලය විසින් පලස්තීනයට සහ ඉරානයට එල්ල කරනු ලබන ප්‍රහාර වලට සහ සමස්තයක් ලෙස ගෝලීයව පවතින ජනඝාතක යුද්ධ වලට එරෙහිව හඬ නැගිය යුතු බවයි.
මෙහිදී ආරාධිත දේශකයෙකු ලෙස මූලික අදහස් දැක්වීම කුමුදු කුසුම් කුමාර විසින් සිදු කළ අතර සහභාගී වූවන් විසින් විවිධ අදහස් ඉදිරිපත් කරන ලදී.
පලස්තීනයට සහ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙස බල කරමින් විවිධ තැන් වල විවිධ සංවිධාන වලින් නොයෙක් ක්‍රියාකාරකම් සංවිධානය කරන බව දක්නට ඇත. ඒ සියලු දෙනා එකතු වී මේ සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යා යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින් කියා සිටියා.
මේ සඳහා පුළුල් ක්‍රියාකාරීත්වයක් ගොඩ නැගිය යුතු අතර පලස්තීනයට නිදහස! යුද්ධයට විරෝධය! මැයෙන් වන මෙම ක්‍රියාකාරීත්වය කිසිදු බේදයකින් තොරව සියලු දෙනාගේ සහභාගීත්වය සඳහා විවෘත බව ජෝෂප් ස්ටාලින් සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා මානුෂීය ආධාර සැපයීමට ඉඩ නොදී ඇමරිකාව සහ ඊශ්‍රායලය තමන්ගේ ආධාර මධ්‍යස්ථාන සකස් කර ඒවා කරා පැමිණෙන ජනතාව වෙඩි තබා මරා දමන තත්ත්වයක් ඇත. මෙවැනි මිලේච්ඡ තත්ත්වයක් තුළ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සහ හඬ නැගීමට ලංකාව තුළ පුළුල් සාමුහිකයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය පවතින බව ඔහු වැඩි දුරටත් සඳහන් කරා. කුමුදු කුසුම් කුමාර මහතා ගෝලීය බල දේශපාලනය තුළ මෙම යුදමය තත්වයන් ස්ථානගත කරන්නේ කෙසේද යන්න සහ වර්තමානයේ ශිෂ්ටාචාරය පිළිබඳ අදහස ගමන් කරමින් පවතින දිශානතිය පිළිබඳව දේශනය සිදු කරන ලදී. එහිදී ඔහු සඳහන් කරනු ලැබුවේ මේ වත්මන් තත්ත්වය ශිෂ්ටාචාරාමය අර්බුධයක් සහ වත්මන් ගෝලීය කාලපරිච්ඡේදය වන නූතනත්වය හා සම්බන්ධ බරපතල අර්බුධයක් ලෙස සඳහන් කළා. මෙහිදී ඔහු හනා ඇරන්ඩ්ගේ ගෝලීය දේශපාලනය පිළිබඳව දාර්ශනික අදහස් සහ තිසරණී ගුණසේකරගේ ලිපි කිහිපයක්ද මූලාශ කර ගනිමින් වත්මන් යුධමය තත්ත්වය ඇති වීමේ සන්දර්භය පිලිබඳ සමාජ, ආර්ථික, ඓතිහාසික සහ දේශපාලනික විග්‍රහයක් සිදු කරන ලදී.
මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මෙහිද අදහස් දක්වමින් සඳහන් කළේ ගෝලීය බලවතුන් යැයි කියා ගන්නා අධිරාජ්‍යවාදී රටවල් දේශපාලනික වශයෙන් බංකොලොත් වී අර්බුධයට ගොස් ඇති බවයි. ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ජන සංහාරයක් කරද්දී සහ ඉරානයට ප්‍රහාර එල්ල කරද්දී නිහඬව සිටි අධිරාජ්‍යවාදීන් ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරද්දී කලබල වී ඇති බව ඔහු පවසයි. යුද්ධය යනු මේ ධනවාදී ක්‍රමය විසින් පවත්වාගෙන යන මිලේච්ඡත්වයක් බවත් එහි පිටුපස මහා පරිමාණයෙන් ආයුධ වෙළඳාම සිදු කරන බවත් ඔහු සඳහන් කළා.
එසේම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය වැනි වචන මේ ලෝකයේ තව දුරටත් අර්ථ විරහිත වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඒවා මගින් ඉදිරිපත් කර ඇති ප්‍රඥප්ති තව දුරටත් වැඩක් නැති දේවල් බවට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළා. මේ වන විට ඊශ්‍රායලය ට අවශ්‍ය ලෙස අමෙරිකාවත්, අමෙරිකාවට අවශ්‍ය විදියට ඊශ්‍රායලයත් තම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. එසේම අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය බෙදා ගැනීමේ අරගලයක නිරතව සිටින අතර ඒ සඳහා මේ ආකාරයේ යුද්ධ ඇති කරයි.
එසේම පලස්තීනයට සහ ඉරානයට පහර දීම හරහා මුස්ලිම් විරෝධයක් ද ගොඩනගමින් ඇති අතර මෙහි ඇති භූ දේශපාලනික බල අරගලයේ නරුමත්වය පිළිබඳව අවබෝධ කරගත යුතු බවත් ශාන්ත විජේසූරිය සඳහන් කළා.
සහභාගී වූ බොහෝදෙනා තම තමන්ගේ අදහස් ඉදිරිපත්කළ අතර, සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ජූනි මස 30 වෙනිදා කොළඹදී පාගමනක් සහ විරෝධතාවක් පැවැත්වීමට සියලු දෙනා එකඟ විය.
