සති දෙකක් ඇතුළත විසඳුමක් නැත්නම් ඇමෙරිකාව යුද්ධයට පිවිසෙනවා ! ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ජිමුත් ඉඳුසර රත්නායක

ඉරානයට එරෙහිව ඊශ්‍රායල යුද්ධය සඳහා ඇමෙරිකාව මැදිහත් වන්නේ ද නො වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා සති දෙකක කාලයක් පමණක් ලබා දෙන බවත්, ඒ අතරතුර කාලයේ දී යුද්ධය සඳහා සාකච්ඡා ම ය අවසානයක් සෙවීමට කාලය ලබා දෙන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර සිටියා.

මෙම තීරණය සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස තම යුධ ප්‍රහාර මාලාවේ අරමුණක් ලෙස ඉරානයේ ටෙහෙරාන් පාලන තන්ත්‍රයේ වෙනසක් අපේක්ෂා කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය බලපෑ බවයි සඳහන් වන්නේ.

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිලයකට ගොදුරු වූ රෝහලක් නැරඹීමට එක් වෙමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි ප්‍රහාර සඳහා අනුබල දෙන ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි තවදුරටත් ජීවත් ව සිටිය නො හැකි බව හා ඉරාන රජය බිඳ දැමීම සඳහා තම ප්‍රහාර යාන්ත්‍රණය වැඩි කිරීමට ඔහු නියෝග කළ බවත් ය.

නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුව අවධාරණය කළේ ඉරානයේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම තම ප්‍රහාර මාලාවේ විධිමත් ඉලක්කයක් නොවන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් සති දෙකක් ඇතුළත ඉරානයට පහර දිය යුතු ද යන්න පිළිබඳ ව නිශ්චිත තීරණයක් ගනු ලබන අතර ටෙහෙරානය සමඟ තම රාජ්‍යය විසින් පවත්වා ගෙන යනු ලැබූ ලිපි හුවමාරුව දිගින් දිගටම පැවති හේතුවෙන් ඒ සාකච්ඡා සඳහා තවමත් බලාපොරොත්තුවක් ඇති බවත් පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසා සිටියා.

ඉරානයට එරෙහි ප්‍රහාරයට සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳ ට්‍රම්ප්ගේ තීරණය, ඇමරිකාවේ ඇති බලවත් හා සාම්ප්‍රදායික “බන්කර් බස්ටර්” බෝම්බ මගින් ඉරානයේ වඩාත් ම ආරක්ෂිත න්‍යෂ්ටික මධ්‍යස්ථානය වන ශුද්ධ වූ කොම් නගරය අසල කන්දක් මීටර් 100 ක් පමණ පහළින් වළලනු ලැබූ ෆෝඩෝ සංකීර්ණය විනාශ කිරීම සඳහා විය හැකි අතර, එය විනාශ කිරීමට තරම් බලවත් ආයුධ ඊශ්‍රායලයට නැති බවත් ඒ හේතුවෙන් නෙතන්යාහු සහ ඔහුගේ පිරිස ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය දෙන ලෙස පවසමින් මෙම ප්‍රහාර මාලාව සඳහා සම්බන්ධ වීමට ඇමෙරිකාව දිරිමත් කරමින්, ට්‍රම්ප්ට පමණක් ඉරානයේ මෙම න්‍යෂ්ටික ව්‍යාපෘතිය “අවසන්” කළ හැකි බව පවසන බවත් ආරංචි මාර්ග විසින් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ටෙහෙරානය තම න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීමට අවසන් මොහොතේ හෝ ගිවිසුමක් ඇති කර ගනී දැයි ට්‍රම්ප් බලා සිටින බව වැඩිදුරටත් සඳහන් වනවා.

යුරෝපය මෙම යුද්ධය සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා දෙපාර්ශවයට බල කරමින් සිටින අතර,  ඉරාන විදේශ අමාත්‍යවරයා අද තම බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ජර්මානු සගයන් හමුවීමට ජිනීවා බලා යෑමට සැලසුම් කරන බව සඳහන් වනවා. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඕමානය ඇතුළු කලාපීය බලවතුන්ගෙන් ද මැදිහත් වීම මේ සඳහා අවශ්‍ය වන බවට ද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව හැඳින්වූවේ,  න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා වන ඉරානයේ සැලසුම් නැවැත්වීම සඳහා අවධානය යොමු කරමින් කළ මෙහෙයුමක් ලෙස වුව ද,  ටෙහෙරානයේ රජය බිඳ දැමීමට ඊශ්‍රායලයට ඇති ආශාව පිළිබඳ අවිඥානික බලාපොරොත්තු ‌ නෙතන්යාහු සහ එරට ඇතැම් බලධාරීන්ගේ ප්‍රකාශ හරහා පෙනී යනු ලබනවා.

ඉරාන ජාතිකයන් ද දශක ගණනාවක් තිස්සේ තම රජය පෙරළා දැමීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති අතර, ඒ වෙනුවෙන් දහස් ගණනක් ඔවුන්ගේ ජීවිත හෝ නිදහසෙන් වන්දි ගෙවා ඇති නමුත් දේශපාලන සිරකරුවන් ඇතුළු පක්ෂ විපක්ෂ පුද්ගලයින් සියල්ල පාහේ විශ්වාස කරන්නේ, දැනටමත් සිය ගණනක් සිවිල් වැසියන් මරා දමා ඇති ඊශ්‍රායල යුද්ධයකින් තම රටට තමා පතන විමුක්තිය කරා යන මාවත ලැබීම විහිළුවක් වන බවයි.

ඇමෙරිකා හමුදා විසින් සදාම් හුසේන් බලයෙන් පහ කර අසල්වැසි ඉරාකය වෙත අත් කර දුන් ඉරණම පිළිබඳ ව ඔවුන්ගේ මතකයේ රැඳී තිබීම එයට හේතුවයි.  ඉතිහාසය යළි යළිත් සිදු වෙමින් පවතින අතර තමා ඉතිහාසයෙන් පාඩම් උගත් බව ඉරාන රාජ්‍යයේ වැසියන් පවසා සිටින්නේ ඇමෙරිකානු මැදිහත් වීමේ ඛේදාන්තය කුමක් දැයි හොඳින් ම දන්නා හඳුනන නිසා ය.

Author

Related Posts